Thursday, January 26, 2012

අම්මා කියූ බොරු….

හදවතට තට්ටු කරන තවත් ප්‍රබන්ධයක්…

mother

 

මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ"

අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු  කෑල්ලක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු 2ක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුංචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න ගොඩාක් අසා නැහැ"

අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන් ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න.. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ"

අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල එකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මම තිබහ නැහැ"

අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"

අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා"

අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් නෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වගේ උසස් විදිහට ඉන්න දන්නෙ නැහැ පුතා"

අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාව ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා"

අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා.

ඔව්.. මගේ අම්මා දේවදුතියක්!!!!!!!!!!!!!

 

ප.ලි – මේ වත්පොතට මගේ මිතුරෙක් මුසු කොට තිබූ සටහනකි. එය පරිවර්තනයක් ලෙස සටහන්ව තිබුණා.

ප.ප.ලි – ප්‍රබන්ධයක් වූවාට මෙහි සමහරක් මට ද අදාළ වන්නේය…

Saturday, January 14, 2012

රාත්තල් හත!!! (Seven Pounds)

 

අලුත් අවුරුද්දේ සටහන් තබන පලමු ලිපිය වන්නේ මෙයය. “සුදු කළු සහ අළු “ මා මුලින්ම වෙන්කර ගත්තේ සිනමා විචාර ලිවීමට වූවත් එය මා එකල අත්දුටු කරුණු අනුව වෙනස් විය.

“සුදු කළු සහ අළු “ යන්නෙහි තේරුම විවිධාකරයෙන් ගත හැකි වූවත් මගේ මිතුරෙක් මෙහි අන්තර්ගතයද විමසා දුන් අර්ථ දැක්වීම වඩාත්ම සුදුසු වන්නේ යැයි මා සිතන්නෙමි.

මචං උඹ ලියන්නේ ……

“ හොද දේත් නරක දේත් ඒ අතර මැදි දේත් “ නේද?

කෙසේ වූවද බ්ලොග් අඩවිය ආරම්භ කොට වසරකුත් මාස කිහිපයකුත් ගතවී ඇත. කලක පටන් සොයමින් තිබූණු “7 Pounds” චිත්‍රපටය මා අද නැරඹු විට මට නැවතත් විචාරයක් ලීවීමේ වුවමනාව පහළ විය.

7

Tim Thomas යනු වෘත්තියෙන් ගගන ඉංජිනේරුවෙකි. කතාව ඇරඹෙනේනේ ඔහු ගන්නා දුර ඇමතුමකිනි. අන්ධ දුරකථන ක්‍රියාකරුවෙකුට ඉතා තදින් බැන වදින දර්ශන පෙලකින් කතාව ඇරඹෙයි.

මුල් විනාඩි 15 යනතෙක්ම කතාව කුමක්දැයි නරඹන්නාට වටහා ගන්නට අමාරු වන්නේ මෙහි ඇති සාමාන්‍යෙයන් දකින රූප පෙල ගැස්මට වඩා වෙනස් වූ පෙලගැස්මක් ඇති නිසාවෙනි.

විටෙක රිය අනතුරක දර්ශනයක් පෙන්වමින් නරඹන්නා කුතුහලයකට යොමු කරවයි.  Tim Thomas තම පෙම්වතිය සමගින් ගමන් කරන විට ඔහුගේ අත්වැරැද්දෙන් ඔහුගේ පෙම්වතියද ඇතුළුව ජීවිත 7 ක් නැතිවී යයි. මෙයින් දැඩි කලකිරීමකට මොහු පත්වී ඇති බවත් මිය ගිය අයගේ නම් ඔහු කටපාඩමින් නිතර කියන අයුරුත් මෙහි දැක්වේ.

වෘත්තියෙන් ආදායම් බදු නිලධාරියෙක් වූ ඔහුගේ සහෝදරයාගේ අනන්‍යතාවය සොරකම් කර ගනිමින් ඔහු අසරණ වූ පුද්ගලයින් සොයා යයි. මුලින්ම තම පෙනහැල්ලේ කොටසක් තම සොයුරාට (Ben Thomas) දන් දූ බව කතාවේ අවසන් මිනිත්තු කිහිපයේ එළිවේ.

මේ  අතර ආදායම් බදු ගෙවීම අතපසු කල කාන්තාවක් (Emily Posa) සොයා යන ඔහු පසුව දැනගන්නේ ඈ හෘදයාබාධයකින් පෙලෙන බවත් ඈට ඉතා ඉක්මනින් හෘදයක් බද්ධ කල යුතු බවත්ය. ඈට මොහු උපකාර කරන අතර ඈ වෘත්තියක් ලෙස විවාහ ආරාධනා පත්‍ර නිර්මාණ ශිල්පියෙකු බවත් ඈ සතුව දුර්ලභ ගනයේ මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ඇති බවද ඒවා අලුත් වැඩියා නොකර ඇති බවද දැන ගනී.

කතාවේ මුල් කොටසේ සිටම ඔහු සුරතෙලෙකු ලෙස උග්‍ර විෂ සහිත Jelly Fish මාළුවෙකු ඇති කරනු දක්නට ලැබේ….

The first time I ever saw a box jellyfish, I was twelve.
Our father took us to the Monterey Bay Aquarium.


I never forgot
what he said... That it was the most deadly
creature on earth.
To me it was just the most beautiful thing I’d ever seen.



ටික කාලයක් යන විට ඔවුන් දෙදෙනා ආදරවන්තයින් වේ. ඒ අතර ඔහු ඈ පුදුම කරවමින් කැඩී තිබුණු මුද්‍රණ යන්ත්‍රය නැවත සකස් කර දේ. ඒ ඇගේ ගරා වැටුණු ජීවිතය පිළසකර කරන බවට පෙන්වන පළමු සංකේතයයි.



මීට අමතරව තවත් අසරණව සිටි කාන්තාවකට තම නිවසත් , කුඩා දරුවෙකුට ඇට මිදුළුත් , පුහුණුකරුවෙකුට තම වකුගඩුවකුත් දන් දෙන ඔහු තම අතිජාත මිතුරෙක් තම ජීවිතය නැතිවූ පසු තම දෑස් හා හෘදය දන් දෙන ලෙස පොරොන්දු කරවා ගනී.



දර්ශනය අවසානයේ තම සුරතලා වූ Jelly Fish මාර්ගයෙන් තම ජීවිතය නැති කර ගනී. ඔහුගේ හෘදය Emil ටත් දෑස් පියානො වාදකයෙක් හා දුරකථන ක්‍රියා කරවන්නෙකු වූ Ezra වෙතත් දන් දේ.



සෙමින් ගලා යන මෙම කථාව ජීවිතයේ යථාවබෝධය නැවත නැවත සිහිගන්වන්නක් බව නොකියාම බැරිය. මා මෙයත් Green Mile හා Sweet November යන සලරූ දෙකද එක පෙලට තබා නැරඹිය හැකි ඒවා ලෙස දකින්නෙමි.



Will Smith මෙහි Ben Thomas ලෙස විශිෂ්ඨ රංගනයකත් Emily Posa ලෙස Rosario Dawson ද එයට නොදෙවෙනි ලෙස චරිතයට පන පොවයි.

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.