Saturday, October 22, 2011

පසුවදන.....

මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය.

නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නොව තම කුළුදුල් ගීතයට සලරූ පෙළක්ද මේ වන විට සෑදී ඇත. ගීතය මෙන්ම සලරූ පෙළද අගය කළ යුත්තේය.

එහි ආරම්භයේ වදන් පෙළ මේසේය......

They are differently abled.. Not disabled


Friday, October 21, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්….(අවසන් කොටස)


මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි.

දූපත සැලකිය යුතු මට්ටමක දිගින් යුතු විය. එය පළලින් අඩුවූ දිගින් වැඩි දූපතකි.

“අඩේ මං හිතුවේ නිකං මේක ගස් වලින් පිරිල කොලපාටට තියෙන එකක් කියලනේ!!“
“හරියට රොබින්සන් අන්දරේ වගේ“
කැවුමා පැවසීය.

බෝට්ටුවෙන් බසින විට අප මධ්‍යහන 12 පසුවී හමාරය. දැඩි රස්නයක් දූපතේ ඇත. බැලූ බැලූ හැම තැනම ඇත්තේ පොල් අතු ගෙවල්ය(කරවල වාඩි) .
“මේකේ පවුල් 3000 විතර ඉන්නවලු බං“
නඩේ එකෙක් පැවසීය.(මේ හෙන්රි ආතා හෝ අබිලිං වන්නට ඉඩ ඇත)
ලොකයා අප වාඩි අතරින් රැගෙන යන අතර තුර සමහරෙක් අප දෙස සැකමුසු බැල්මක් හෙලන බව අප දුටුවෙමු.වෙලාවකට මෙන් අප එන තුරු ඔහුගේ බාප්පා මග බලා ගෙන සිටියේය.
බැලූ බැල්මට කම්කරුවෙකුගේ පෙනුම ගත් ඔහු සැබෑවටම හොද මිනිසෙකි. ආගන්තුක සත්කාර අතින් කිසිවෙකුට දෙවැනි වන්නේ නොමැත. අප පසුව දැන ගත් පරිදි බාප්පා පෙනුමෙන් එසේ වූවාට(දූපතේ කවුරුත් සිටින්නේ එලෙසය).ඉහල අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු බවය.ඒ බැව් ඔහුත් සමග කතා කරන විට අප ශපථ කර ගත්තෙමු.
බාප්පා අප වෙනුවෙන් ම දවල්ට මාලුන් වර්ග කිහිපයක් හා කකුළුවන් විශාල ප්‍රමාණයක් වෙන් කොට තබා සිටියේය.
HPIM0205
HPIM0209

උයන නඩේ!!!

දැන් එළැඹ ඇත්තේ මේ මාලුන් හා අපි ගෙනා එළවලු කිහිපයක් සකසා ගැනීමය. ලොකයාත් හෙන්රි ආතාත් ,මාත් ,මණ්ඩුකත්,ඕදිරිසුත් ඒ අතර විය. ලොකයා මාලු වර්ග පිළිබඳ හසල දැනුමක් තිබූ අයෙකි. ඉතා දක්ෂ ලෙස ඔහු ඒවා පිසුවේය. නඩේ දෙදෙනෙක් වෙජිටේරියන් විය.(එක් අයෙක් නම් මට සැක සහිතය).
“දැං හදපංකෝ කෑම ජාති දෙකක්!!“ ලොකයා නොරිස්සුම් ස්වරයෙන් පවසයි.
වාඩියේ වලං මුට්ටි අප 11 දෙනාට එක වර පිසීමට ප්‍රමාණවත් නොවූ හෙයින් අපට බත් දෙපාරකට පිසීමට සිදු විය. අප හැඩල්ලන් හා හුරුල්ලන් තෙලින් බැද,කිරට හා මිරිසට පිස ගත්තෙමු. මා ජීවිතයේ පලමු වතාවට කකුළුවන් ශුද්ධ කරන අයුරු ලොකයාගෙන් ඉගෙන ගත්තෙමි. එළවලු ලෙස ගෝවා මැල්ලුමක් සාදා ගත්තෙමු.

HPIM0217
HPIM0216

දැඩි අව් රශ්මිය අපට ඔරොත්තු නොදුන් හෙයින් අප සවස් වන තෙක් වාඩියේ සිටියෙමු.
“ඔයගොල්ලන්ට වෙන හෝටලයක් බැලුවේ“ බාප්පා පැවසීය.
“හැබැයි පොඩ්ඩක් ඒක අස් කරන්න වෙයි“
wadiya
හවස් වරුවේ අප වාඩිය සකස් කල ගත්තෙමු. දූපතේ ජලය ලබාගන්නේ අඩි දෙකක් තුනක් යටට වලක් කැණිමෙන්ය.මේ ජලය අධික කිවුල් භාවයක් ඇත.(වැස්ස ලැබෙන තෙක් එසේය) එනිසා බාප්පා කල් තියාම අප වෙනුවෙන් වතුර බූලි කිහිපයක් බෝට්ටුව මගින් ගොඩබිමෙන් ගෙන් වා ගෙන තිබිණ.(වතුර බූලියක් සදහා රු 80.00 අය කරයි)
දූපතේ එහා පැත්තේ වෙරළ වෙත් යාමට මට නොනිමි ආශාවක් විය. හවස් වරුවේ මා ඒ පැත්ත වෙත නසියා ත් සමග ගියෙමි. වෙරල අතිශයින්ම පිරිසුදුය.පැය ගණනක් එතැන සිටිය හැකි තරම් එය සුන්දරය.
HPIM0299
අප සියලු දෙනාම ඉර අවරට යන තෙක්ම එහි විනෝද වූයෙමු.HPIM0308
HPIM0296

පෙර සදහන් කල ලිං සොයා අප හවස් වරුවේ දූපතේ එහා කෙළවරට ගියෙමු. පළමු වරට කිවුල් ගතියේ තරම දැන ගතතේ අපි එතැනදීය. නා ගැනීම නම් තරමක් දුෂ්කර කටයුත්තකි.
අප කලින් පිස තිබූ වෑංජන සමගම රෑටත් ආහාර ගත්තෙමු. ගමන් විඩාවටද කොහෙදෝ අප සියල්ලන්නටම ඉක්මනින් නින්ද ගොස්ය.

හෙන්රි ආතාගේ වැල්ලේ වික්‍රමය

පසු දින උදෑසනම අප අවදි වීමු. ඉර මුදුන් වීමට මත්තෙන් අපට උයන වැඩ අවසන් කොට දූපතේ අනෙකුත් දෑ පිරික්සීමට සිතා ගත්තෙමු. උදෑසන නම් ඇත්තේ සුවදායක පරිසරයකි. නමුත් ශාරීරක සුවතාව උදෙසා නඩේ බොහෝ අය වැසිකිලි සොයා යන්නට විය.
“මචං වැල්ලට තමයි අත අරින්න තියෙන්නේ“ ලොකයා පැවසීය.
ඇත්තටම දූපතේ වැසිකිළි පහසුකම් නොමැත. බොහෝ දෙනා වතුර බාල්දියකුත් රැගෙන වැල්ලට යන අයුරු නිරීක්ෂනය කොට “වැඩේ සිද්ධ කරන විදිය “ දැන ගැනීමට එකෙකුට අවශ්‍ය විය. කෙසේ වූවත් දූපතේ තැන් තැන් වල තිබූ වේලුන් ගොන් බෙටි වැනිදෑ මිනිස් මළ පහ බව අපට පසුව වැටහී ගියේය. (දැඩි අව්රශ්මිය නිසා එසේ සිදුවේ.)
අප සියලු දෙනාටම මෙය නුහුරුය. හෙන්රි ආතාත් “කාර්‍යය “ සිදු කොට මුහුදු රලින් සෝදාගැනීමට වීරයෙකු මෙන් මුහුදු රළට පිටුපා වැල්ලේ හිද ගත්තේය. කරුමයකට මෙන් හිසටත් උඩින් ආ රැල්ලකින් හෙන්රි ආතා තෙමී ගියේය.
දූපතේ ස්ථීර ගොඩ නැගිලි ලෙස ඇත්තේ නාවික හමුදා කදවුරත් ,පාසලත් ,පොලීසියත් කතෝලික දේවස්තාන දෙකත් පමණි.(දූපතේ බහුතරයම උග්‍ර කතෝලික ලබ්ධිකයෝය)
බෝට්ටුවට නැවත පිටවීමට පෙර අප දේවස්තානයද දැක බලා ගත්තෙමු.   හවස එකට පමණ අප නැවතත් ගොඩබිම වෙත පැමිණීමට පටන් ගත්තෙමු.දැන් නැවතත් අප සුපුරුදු කාර්‍ය බහුල ලෝකයට සම්බන්ධ වන්නෙමු. දූපතේදී ඒ කිසිවක් ම නොමැත. ජීවිතය කටුක වූවද සරළය  දුර්ලභ චාරිකාවක මතක සටහන් මෙසේ අවසන් වන්නේය. ෴

ප.ලි – ඡායාරූප කිසිදු පැකිලීමකින් තොරව ලබා දුන් මණ්ඩුකටත් , කැවූමාටත් , ගමන සූදානම් කල ලොකයාටත් ඔහුගේ මා පියන්ටත්, බාප්පාටත් මගේ කෘතඥ පූර්වක ස්තූතිය හිමිවේ.

Wednesday, October 12, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස)

කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය.

අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය.

HPIM0119

අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි කිහිපයක් ලෙසය.නමුත් එය වැරදී ගියේ අප ක්‍රමයෙන් කුඩා වූ ගොඩබිම නොපෙනී ගොස් පැයකට ආසන්න කාලයක් ගෙවී ඇතත් තවමත් බෝට්ටුව සුපුරුදු ලැසි ගමනේ යන අයුරු වැටහී ගියාවෙන් පසුවය.HPIM0112

දැන් අප නුපුරුදු අත්දැකීමක් විදගනිමින් සිටියෙමු.ලොකයා නම් පැත්තකට වී වාඩිගෙන සිටිනු මා දැක්කෙමි.

අපි හෙට යනවා  බත්තලංගුණ්ඩුව කියල දිහාවකට…..!!!

අපේ නඩයේ සිටි අබිලිං පවුලේ එකම දරුවාය. ඒනයින්ම ඔහුට ලැබෙන සැලකිල්ල ද අනවශ්‍ය පරිස්සමද පසුකලෙක ඔහුට හිසරදයක් ව පැවතිණ.අබිලිං ගෙදරින් පැමිණ ඇත්තේ ලොකයාගේ ගෙදර එන බව මිසක් දූපතකට යන බවක් නොකියාය. අප ගමන පිටත් වීමට පෙර දිනයේ ඔහු තම මවට දුර ඇමතුමක් ගත්තේය.

“අම්මේ මං ආවා හලාවතට“

“ආ අවාද? දැන් ද ආවේ?“

“ඔව්“

“හෙට මොනාද කරන්නේ?“

“හෙට අපි යනවා බත්තලංගුණ්ඩුව කියල දිහාවකට!!!“ අබිලිං පැවසීය

“මොකක් ?“

“ඒක දූපතක් නේද?“

“ඔව් ඒක දූපතක් වෙන්නත් පුලුවන්!!!“

එහා කොණින් දෝස්මුරයක් ඇසේ…

“අම්මේ පූසා එහෙම සනීපෙන්ද?“

“ඌ බත් එහෙම කෑවද?“

අබිලිං දැන් කතාව මගහැරීමට යත්න දරනු දුටු මා එතැනින් නික්ම ගියෙමි.(එහා කොණේ දෙබස් ඇසීමට තරම් මගේ ශ්‍රවණ ශක්තිය තියුණු වීම ගැන මා දෙවියන්ට ස්තූති වන්නෙමි)

අබිලිං නුත් මාත් මණ්ඩුකත් හැරෙන්නට අනෙකුන් සිටියේ බෝට්ටුව මැද හා දෙපසය. අපි තිදෙන සිටියේ එහි ඉදිරිපසය. පැය එකහමාරකට පසු කැවුමා ට නිහඩතාවය එපා වී සින්දුවක් මුමුණන්ට විය. එපමණක්දHPIM0172 නොව නඩේ බොහෝ අය බෝට්ටුවේ ඉදගෙන “ඕම්බි “ ගසන්නට විය.(මේ සදහා හෙන්රි ආතා කාඩ් කූට්ටම් දෙකක් කලින්ම සකසා ගෙන සිටියේය)

HPIM0120බෝට්ටුව ජල කද දෙබෑ කරගෙන යන මගට දෙපසින් මාලුන් රැලක් වතුරින් ඉහලට එසැවී නැවත ජලයේ සැගවී යයි.

“අර!!! අර!!!“

හෙන්රි ආතා කෑමොර දෙයි.

අප යන අතර තුර කුඩා දූපත් කිහිපයක් අප පසු කලේය. (මුලින් අප සිතුවේ එම දූපත් වලටත් බෝට්ටුව යාත්‍රා කරනු ඇතැයි කියාය. නැත!!! මෙය බත්තලංගුණ්ඩුවට “එක්ස්ප්‍රස් “ බෝට්ටුවකි.)

HPIM0127

 

බෝට්ටුව යාත්‍රා කරන දෙසට සමාන්තරව දකුණු පසින් අපට තවත් ගොඩබිමක් දක්නට ලැබිණ. ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමය.(මෙය බත්තලංගුණ්ඩුවටද හොදින් පෙනේ)

HPIM0144

අන්න ටවර් එකක්!!!

දැන් අප පැය 3කට ආසන්න කාලයක් බෝට්ටුවේය.අතැති සියලු දුරබනුවල සංඥා සලකුණු සැගවී ගොස්ය. නඩේ සමහර පෙම්වතුන් “සැනසීමටත්“ “දුක්වීමටත් “ පටන් ගනු මා ඔවුන්ගේ මුහුණු වලින් තේරුම් ගතිමි.

“අන්න ටවර් එකක්“

සුමනේ පැවසීය.

HPIM0196

“ටවර් එකක් පේනවද ?“ “එහෙනම් ඒක තමයි බත්තලංගුණ්ඩුව“ නඩේ ගුරා පිළිවදන් සැපයීය.

දැන් අප බත්තලංගුණ්ඩුව පේන තෙක් මානයේය. මේ වන විට අප ගොඩබිමින් කිලෝ මීටර 15 කට ආසන්න දුරකින් එපිටය. කොටින්ම කියතොත් දැන් අප ලංකාවෙන් එපිටය!!!

බෝට්ටුව කෙමෙන් කෙමෙන් බත්තලංගුණ්ඩු වැල්ල සිප ගන්නට තැත් කලාය. දැන් බෝට්ටුව තම ගමන නිමා කොට හමාරය, අප කලිසම් දණිහට කෙටි කර ගෙන බෝට්ටුවෙන් පැන ගතිමු.

 

බත්තලංගුණ්ඩුවේ ජීවිතය ඊළග කොටසින්…

Sunday, October 9, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්….(පළමු කොටස)

 

සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්‍රදායය.(නුමුත්  මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්‍රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය.

කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ගත් හා  අත් විදි දෑ අප අසාවෙන් අසා සිටියෙමු.

 

“ එහෙනම් මචං මේ පාර අපි එහෙ යමු“

“හරි මම වැඩේ සෙට් කරන්නම්“(එතැන් පටන් ලොකයා සියල්ල භාර ගත්තේය)

“එහෙනම් මචං මේපාර Exam ඉවර වෙලා අපි යමු “

 

මේ කතා බහට මාසයක් දෙකක් ගතවන්නට ඇත. විභාග සමය නිසාවෙන් අප අධික මානසික ආතතියකින් පෙළී සිටියෙමු.කොටින්ම කියතොත් මට මේ ගමන ගැන කිසිදු මතකයක් තිබුණේ නැත.

කෙසේ හෝ මාද මේ ගමනට එකතු විය.

 

සරසවියෙන් ලොකයාගේ නිවස බලා…..

විභාගය අවසන් වූ දිනයේම අප “ලොකයා“ ගේ නිවෙස්(හලාවත) බලා ඇදුනෙමු. (නඩයේ සංඛ්‍යාව 11 කි) මෙතැන් පටන් නඩයේ ගුරා ලොකයාය.මුහුදු කරයේ දැනුම අතින් ඔහු අප කවරකුටත් වඩා සන්නද්ධය.

පසුදින උදෑසනම අප කල්පිටිය වෙත ධාවනය වන බස්රථය සොයාගතිමු.

map1

ලංකාවෙන් පිටත් වීම…..

පෙර සැලසුම් කල පරිදි අප දිනකට සරිලන ඉවුම් පිහුම් වලට අවශ්‍ය හාල් පොල් එළවලු ,සෝයා මීට්, කුලු බඩු ආදිය රැගෙන ආවෙමු.පැය කිහිපයකට පසු අප කල්පිටිය ජැටියේය. ප්‍රමාණයෙන් විශාල බෝට්ටුවක් ඒ අසල නවතා තිබිණ.

“මචං මේකද බෝට්ටුව“

“ඔව් ඔව් ඕක තමා , අද්දන්න කලින් අපි මොනාහරි බඩට දාගමු“

එම බස්රථය පැමිණෙන තෙක් බෝට්ටුව දියත් නොකරන බව අප පසුව දැනගතිමු.වරායේ ඇති කැන්ටිමෙන් අප උදේ ආහාරය ගත්තෙමු.

කිඹුලා බනිස් සහ තවත් පිටි ආහාර කිහිපයක් එහි තිබිණ.

පෝන් චාජ් විස්සයි!!!

කැන්ටිමේ ඇති පුවරුව අප මවිත කලේය. ජංගම දුරබනුවක් නැවත අරෝපණය කිරීමට කැන්ටින් හිමියා රු 20 ක් අය කරයි.

“ඔය මචං High Voltage එකක් දීලා විනාඩි 5න් 10 න් චාජ් කරන සීන් එක“

“කැවුමා“ මා සමග පැවසීය.

HPIM0101බෝට්ටුවට දියත් වන්නේ 8.30 –8.45 අතර වූ වේලාවකය. ඊට පෙර අප එතැන සිටින නාවික හමුදා නිලධාරියා වෙත අපගේ ජාතික හැදුනුම් පත පෙන්විය යුතු විය.ඔහු එම විස්තර සටහන්  කර ගන්නේය.

බෝට්ටුව එක් අයෙකු සදහා රු 200 ක් අය කරයි. පැය 3කට ආසන්න කාලයක් අප බෝට්ටුවේ යාත්‍රා කලෙමු. (කුඩා බෝට්ටු මීට වඩා අඩු කාලයකින් යාත්‍රා කලද ඒ වෙනුවෙන් වැය කල යුතු මුදල තරමක් වැඩිය)

බෝට්ටුවට විවිධ කලමනා පුරවන්නට විය. ඒ අතර බීම බෝතල්, හාල් පොල්. තිරිගු පිටි බහුල විය. මීට අමතරව වතුර බූලි ද විය(වතුර බූලියක් සදහා රු 80 ක් අය කරන බව පසුව අපට දැන ගන්නට ලැබිණ…)

ටික වේලාවකට පසු බෝට්ටුව කෙමෙන් කෙමෙන් ජැටියෙන් ඈත් වන්නට විය.(ඒ වනවිට වේලාව උදේ 8.45 වන්නට ඇත)

 

දූපතට සේන්දු වීම ඇතුලු ඉතිරි අත්දැකීම් ගොන්න හෙට දිනයේ බලාපොරොත්තු වන්න….෴

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.