Tuesday, March 1, 2011

බටර් විස්කෝතුව…

මේ මා කොටස් වශයෙන් සටහන් තබන දෙවන සටහන් මාලාවය.(පලමු සටහන් මාලාව) මෙයට ප්‍රස්තූත ගත කාරනාව ‘බටර් විස්කෝතුව‘ නොවූවත් මෙහි දී බටර් විස්කෝතුවට හිමිවන්නේ සුවිශේෂි වූ තැනකි. ඒනයින්ම එය මෙහි තේමාව වන්නේය….
villageමෙයට මුල් වන්නේ මා වෙසෙන ගම් පෙදෙසය, එය පාරම්පරික ව පැවතෙන ගමක් නොවන බව මා අසා ගත්තේ මගේ මවගෙනි.උපරිම වශයෙන් එයටත් එහි සිටින වියපත්ම මිනිසාටත් ඇත්තේ වසර 90 කට නොවැඩි ඉතිහාසයෙකි.
එහි වෙසෙන බහුතරයම දිවිසරි කරගන්නේ වත්තේ වැඩ කිරීමෙනි .(වත්ත යනු විශාල සමාගම් වලට අයත් තේ වතුය) ඊට අමතරව ගොවිතැනද ඔවුන්ගේ තවත් ආදායම් මගකි.මීට අමතරව සමහරෙක් කසිප්පු ද ගංජා ද විකුණති. නමුත් එවන් පිරිස අතලොස්සකි.මගේ පියා සෑම දිනකම මට පවසන දෙයක් ඇත.

“උඹ මේව විකුණලා දාලා ටවුමකට පලයං,තව ටික දවසක් යනකොට මෙහේ ඉන්න එක උඹට හරි නෑ “
මෙහි යම් ඇත්තක් තිබුණ ද මට ගමෙන් සදාකාලික වම ඉවත් වීමට වුවමනාවක් නොමැත.නමුත් මා නියැලෙන ක්ශේත්‍රයක් සමග ගමේ ජීවත් වීමේ අපහසුතාවයක් ද නැත්තේ නොවේ ‘රස්සාවක් ‘ සොයා ගැනීමට මා කොළඹට යා යුතුය. නමුත් එය මා කාලයට බාර කරන්නෙමි.

වතු සංස්කෘතිය අපූරුය(කොළඹ වතු සංස්කෘතිය නොවේ…එයද අපූරුය).තේ වතු ලස්සනට තිබුණා ට එයින් ලැබෙන තේ කහටේ රසය තිබුණාට එහි වැඩකරන, වෙසෙන මිනිසුන්ගේ ජීවිත එතරම් සුන්දර නොමැත.ඔවුන් ට‘ වැස්ස‘ කියා ගෙදර නැවතීමට නුපුළුවන අද ‘අව්ව‘ කියා ගෙදර රෙදි සේදීමට නැවතීමටද නුපුළුවන.වැස්ස දාට ඔවුන් ඉටි කවරයක් වෙලාගෙන තේ ගස් අස්සේ තේ දළු නෙලති.(නියමිත දළු ප්‍රමානය නොකැඩීමෙන් නියමිත වැටුප නොලැබීමට ඉඩ ඇත).කොතරම් හිරි වැටෙන සීතලක වූවද ඔවුන් තේ දළු නෙලති.

උදේ 7 පමණ වන විට ඔවුන් නිවෙස්වලින් පිටව යයි.නැවත් 12 ට නිවෙස් වලට පැමිණේ .ඉන් පසු සවස 4-5 වන තෙක් ඔවුන්ට උරුම වූ රාජකාරීය කරයි.ජන සංකලනය සිංහල ත් දමිල ජනයාත් වන අතර මුස්ලිම් සුලුතරයක් ද ඇත.දමිල මිනිසුන් වෙසෙන්නේ ‘ලැයිම්‘ වලය (මෙය Line යන්නෙන් කැඩුණු වචනයකි. ඒ ඔවුන් වසන නිවෙස් පේලියට ඇති නිසාවෙනි.පේලියට තිබුණාට එක් නිවෙසක් වෙන් වන්නේ එක් බිත්තියකින් පමණි.)සිංහල බහුතරයක්ම වෙසෙන්නේ සාමාන්‍ය නිවෙස් වලය.

අප අසන දකින බොහෝ මිනිසුන් තුන් වේලටම බත් කෑවාට මෙහි සිටින මිනිසුන් ට එය වලංගු නැත.සමහරෙක් බත් අනුභව කරන්නේ දිනකට එක් වේලකට පමණි.ඉතිරි වේල් වලට “බටර් විස්කෝතුව“ ත් කහට කෝප්පයත් පෙරමුණට පැමිණේ.

බටර් විස්කෝතුවක් ඉස්සර රුපියලකි, විස්කිරිඤ්ඤාවක් ද එසේය. අද වන විට විස් කෝතුවක් රුපියල් දෙකත් දෙකයි පනහත් අතර මුදලකට මිලදී ගත හැක.


මිනිසුන් වේලකට රුපියල් දහස් ගණන් වියදම් කරන ලොවක අපට ඇසෙන පේන මානයේ යතාර්ථය එයය.කිසිම මිනිසෙක් අද උදේට කෑවේ මොනා ද යන්න ඇසුවොත් නිසැකවම “බත්“ යන්න පිලිතුර ලෙස දෙන බව නොඅනුමානය.සත්‍යම පිළිතුර දැන ගැනීමට අවැසි නම් පොඩි එකෙක් සොයා ගත යුතුය.(එය මගේ පියා අනුගමනය කරන පිලිවෙතකි)
“සුදූ අද උදේට කෑවාද?“
“ඔව්“
“මොනාද කෑවේ “
“අලකොලයි බතුයි“

සූදූ යනු පුංචි කෙල්ලකි .ඈට සුරතලේට නිවැසියන් පවසන්නේ සුදූ කියාය.ඇගෙන් දින කිහිපයක ආහාර වට්ටෝරුව පිළිබඳ විමසුවද එහි මහ ලොකු වෙනසක් දක්නට නොමැත.ලොකු මිනිසුන්ගේ ව්‍යාජ බව දියාරු වන්නේ සුදූ වැනි පොඩි එවුන්ගෙනි.පඩි හෝ වත්තේ බෝනස් ලැබුන දාට නිවසේ සිටින්නන්ට කිරි කහට බීමේ වරමත් කරවල කෑල්ලක් එක්ක බත් අනුභව කිරීමේ වරමද ලැබෙන්නේය….

අන් සෑම දාටම බටර් විස්කෝතුවත් කහට කෝප්පයත් අල්ලේ ඇති සීනි කැට කිහිපයත් ඔවුන්ගේ දිවි ගලවයි….

3 comments:

10 සහෝදරයා said...

dukai

ad1319 said...

interesting thought
. . . . . . . . . . . . . . . . :)

ad599 said...

interesting thought
. . . . . . . . . . . . . . . . :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.