Saturday, January 29, 2011

ගොඩයා…

images (9) මේ ලිපියට ප්‍රස්තූත වූ කාරණා බොහොමයක්  මා පසු ගිය කාලයේ අත්වින්දෙමි.මා ගෙන්දම් පොලොවේ පය ගහන වාර ගණන වැඩිවත්ම මෙය වඩ වඩාත් තීව්ර ලෙස දැනෙන්ට විය.

මගේ පියා මට කුඩා කල සිට මට සිහිපත් කල කතාවක් විය.

“පුතා ප්‍රංශෙට ගියාම ප්‍රංශ කාරයෙක් වගේ හිටපන්“

කුඩා කල මට මෙහි තේරුණේ ප්‍රංශය පමණි.පසුකලෙක මා මෙහි යථාර්තය වටහා ගතිමි.

මා නාගරික සමාජයටත් අතිශයින්ම ග්‍රාමීය වූ පරිසරයටත් එකලෙස අනුගත වීමේ හැකියාව වැඩිදියුණු කර ගත්තේ මා මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක් ලෙස ඉපදිම බව මගේ විශ්වාසයයි. නමුත් මේ අනුගත වීම හමුවේ අසාර්ථක වන අයවලුන් දෙස සමහර නාගරික කොටස් වපරැසින් බලන කල  සියුම් කෝපයක් මසිත ජනිත වෙයි.එය සංසිදෙන්නේ එය ලෝක ස්වභාවය බව මට වැටහීමෙන් පසුවය.

නූතන සංකරත්වයට අනුගත නොවන්නා වත්මන් සමාජයේ “ගොඩයා“ යැයි හදුන්වයි.බහුතරයම ගමේ කොල්ලෝ කෙල්ලෝය.ඔවුන්ගෙන් බහුතරයකටම ඉංගිරිසිය “කතා කිරීමට“ නොහැකිය.ඔවුන් හැදි ගෑරප්පු වලින් ආහාර ගැනීමට නොදනිති.වේලකට රුපියල් දහස් ගණන් වියදම් කරමින් ආහාර නොගනිති.පබ් ගැන අසා නොතිබුනද නයිට් ක්ලබ් ගැන පත්තර වලින් කියවා ඇත.ටයි පටියක් පැලදීමට නොදනිති.ඔවුන් හිපොප් ,රොක් නොදනිති.නොතේරෙන්න ඉංගිරිසියෙන් වනන “සිංහල“ සිංදු ගැන දනිති.ඔවුන් Eminem ලා 2Pac ලා නොදනිති.නමුත් ජෝතිපාල ලා,මිල්ටන් ලා ගැන හොදින් දනිති.

මෙවන් සංකල්පවලින් පුද්ගලයෙකු ගොඩයෙකු වන්නේ කෙසේදැයි මා නොදනිමි.ගොඩයින්ට හිනාවෙන උදවිය නොදන්නා බොහොමයක් ඇති බව මා එවැන්නවුන් ඇසුරු කිරීමෙන් ම දැනගතිමි.

සමහරෙක්ට තනි සිංහලෙන් වදන් හැසිරවීමට නොහැකිය.(වදන් වලින් 75% ක් ම ඉංගිරිසිය).සෙරෙප්පුවක් නොමැතිව පොලොවේ පය ගැහීමට හිරිකිතය.උදැල්ලක් කිසිදා හසුරුවා නොමැත(උදැල්ලක් තබා සමහර තරුණියන් කොස්සක් වත් හසුරුවා නොමැත).රතු හාලේ බතක් ,පොල් සම්බෝලයක් වැනි සරල ආහාරයක් වත් සැකසීමට නොදනිති.නමුත් ඔවුන්ට සොසේජස් වැනි “පෙර පිසින “ ලද ආහාර නම් පිසිය හැක.අසන ගීත වලින් බහුතරයම හුදු ශබ්ද රසය පාදක කොටගත් ඒවාය(මේ කරුණ ඉංගිරිසි ගීත වලට මෙන්ම සිංහල ගීත වලටද පොදුය).ඔවුන් “Eminem ලා 2Pac ලා “ ගැන හොදින්ම දනිති.2Pac මියගිය හැටි ත් ඔහුගේ මුලු කැරැට්ටුව ත් දනිති නමුත් මහගම සේකරයන් ගැන නොදනිති,නන්දා මාලනියන් ගැන නොදනිති,ජෝතිපාලයන් ගැන ද නොදනිති.

ගැටළුව ඇත්තේ මෙතැනය ගොඩයින් ඔවුන්ද ? නැත්නම් මොවුන්ද ?

නූතන සමාජය තුල සංකර වීම දකින්නේ ආභරණයක් ලෙසය.බොහෝ අය ඇමෙරෙකානු ව්‍යාප්තිවාදයේ ගොදුරු වී හමාරය,එයට සාපේක්ෂව ගොඩනැගුණු ඉන්දියානු උපව්‍යාප්තිවාදයට හසුවූ පිරිස අතිශයින් ඉහලය.නුදුරු දිනකදීම ලාංකීය සංස්කෘතිය වියැකී යනු ඇත.එය හුදෙක්ම ආභරණයක් පමණක් වන දිනය මෑතකය.ලොව අන් සියලු ජාතියකටම සුවිශේෂ අනන්‍යතාවයක් ඇති මුත් අපට  “දැන්“ එවැන්නක් නොමැත.ලාංකිකයන් බොහෝ වෙලාවට විදෙස් රටවලදී “ඉන්දියනුවන්“ ලෙස වෙනත් ජාතීන් වැරදියට හදුන්වන්නේ ද මේ නිසාවෙන් වන්නට ඇත෴

4 comments:

පිණිබිඳු... said...

අපි අතරෙත් ගොඩ සුද්දො හරියට

මිත්‍යාදෘෂ්ටිකයා said...

ස්තුතියි,, මේ ලිපියට නම් නෙමෙයි(මේකටනම් පොඩ්ඩක් එකඟ නෑ, ඒක ඉතින් මගේ අදහස මිසක් හැමෝගෙම අදහස නෙමෙයි නේ), ස්තුතිය සමස්ත බ්ලොගයටම. මේක මගේ පළමු ගොඩ වැදීම, ඒ කියන්නේ මුල්ම එක........

සුදු කලු සහ අළු said...

@පිණිබිඳු - ඔව් සෑහෙන්න ඉන්නවා

@මිත්‍යාදෘෂ්ඨිකයා-ස්තූතිය අදහස් පලකිරීම සම්බන්ධයෙන්,ඉදිරියටත් අදහස් බලාපොරොත්තු වෙනවා

10 සහෝදරයා said...

මම ගොඩයෙක් ද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.