Saturday, January 15, 2011

කාලසර්ප යෝගය

කාලසර්ප යෝගය වනාහි මා ජ්‍යොතිෂය ඉගෙනීමට බලපෑ ප්‍රධානතම කරුණු තුනෙන් එකකි.අනෙක් දෙක වනුයේ මගේ වැඩිමහල් සහෝදරයා හා ජ්‍යොතිෂය බොරු කිරීමට මට සිතුනු යටපත් කල නොහැකි ආශාවය.

අයියා ජන්ම ලාභය ලබා ඇත්තේ කාලසර්ප යෝගය ඇතිවය.මීට අමතරව ඔහුගේ බැලූබැල්මට පාපී ග්‍රහ පිහිටීම් කිහිපයක්ද තිබෙන බව එකල දෛවඥයෝ මව්පියන්ට පවසා ඇත.මේ කරුණු පසුව දැනගත් ඒවාය.kala

අයියාගේ කලවයස හරියන විට අඹුවක් සොයා යන විට ඔහුගේ කාලසර්ප යෝගය නිතරම දෛවඥයෝ අන්තිම තුරුම්පුව ලෙස තබාගත්හ.

“මොකක්ද මහත්තයෝ ඔය කාලසර්ප යෝගය කියන්නේ?“

මගේ පියා මේ පිළිබඳ කිහිප දෙනෙකුගෙන් විමසා සිටියද ඔහුවත් මාවත් සෑහිමකට පත්කිරීමට තරම් ප්‍රබල පිළිතුරක් ඔවුන් සතු නොවීය.මීට අමතරව මගේ පියා මා ජන්ම ලාභය ලැබූ මුල් දිනවලම අපේ පැත්තේ සිටි ලංකාවේ සිටි සුප්‍රසිද්ධම දෛවඥමහතෙකුගෙන්(අදටද මෙතුමා ලංකාවේ පහලවුණු විශිෂ්ඨ ඝනයේ දෛවඥයෙකු ලෙස පිළිගැනෙන අතර මෙතුමාගේ පොත් මාද පරිශීලනය කරමි) මගේ කේන්ද්‍රය බැලීමට ගොස් අපූරු කතාවක් අසාගෙන පැමිණි බව පියා මා සමඟ පසු කාලයේ පැවසුවේය.

“හපෝ මේකා නං තියාගන්න එපා “
“වසවර්තියෙක් වගේ එකෙක්“
“කොහෙට හරි දීලා දාන්න“

මා මෑතකදී මේ පිළිබඳ පියාත් සමඟ කතා කලෙමි.

“ඉතින් තාත්තට හිතුනේ නැද්ද මාව කොහෙට හරි ගිහින් දාන්න?“
“මට ඔයා පොඩි කාලේ තේරුණා ඔයා එහෙම එක්කෙනෙක් නෙවෙයි කියල“

මේ ආකල්පය නිසාම මට මෙය බොරු කිරීමේ යටපත් නොකලහැකි ආශාවක් කුඩා කල පටන්ම තිබිණ.මේ සියල්ල නැවත මතුවූයේ අයියාගේ කලවයස හරි යෑමත් සමඟය.ඒ වනවිටත් මා ජන්ම පත්‍රයක්  සෑදීමට තනිවම උගෙන තිබිණ.

මේ නිසාම තාත්තා මට ගුරුවරයෙක් සෙවීමට යත්න දැරූවේය.අවසානයේ මගේ නෑදෑ මාමා කෙනෙකු මාර්ගයෙන් ගුරුවරුයෙකු හමුවිය.මා ජන්ම පත්‍රයද රැගෙන එතුමා හමුවීමට ගියෙමි.

“සර් මට මේක ඉගෙන ගන්න ඕනේ“
“ඔය ළමය කට්ටිය ඉවර වෙනකං අතනින් වාඩි වෙලා හිටියනං“

“ආ කේන්දරේ ගෙනාවාද?“
“ඔව්“

මදක් එදෙස බලා සිටි එතුමා

“ආ මෙයා නං නියම එක්කෙනක් “
“කෝ කෝ පොතක් එහෙම ගෙනාවාද දැන්ම පටන් ගමු ඉගෙන ගන්න අද ඔයාගේ දවසත් හොදයි“

දීප්තිමත් වූ දෙනෙතින් යුතුව සිනාසුණු ඔහු ගේ වදන් මා මවිතයට පත්කලේය.ඒ මා නිල වශයෙන් දෝසතර ඉගෙනගත් දිනයයි.එය බොහොම ඉක්මණින් මා ග්‍රහණය කර ගතිමි එපමණක් නොව නව ජ්‍යොතිෂ ගණිත ක්‍රම කිහිපයක්ම මට නිර්මාණය කිරීමට ද හැකිවිය.ඒවා බොහෝ උනන්දුවෙන් අසා සිටි එතුමා ඒවා ඔහුගේ සටහන් පොත් වල තබා ගත්තේ මා අගය කරමිනි.(දැන් එතුමා විවේක සුවයෙන් සිටින අතර මා ඉඩ ලැබෙන හැම වේලාවකම ඔහු බැහැදකී)

කාලසර්ප යෝගය වනාහී සරළවම කියතොත් රාහු සහ කේතු (ඡායා ග්‍රහයන්ය) ග්‍රහයන්ට අනිත් සියලු ග්‍රහයන් මැදි වීමය.මෙහි උප කොටස් ගණනාවක්ම ඇති මුත් කියනා තරම් අශුභ ඵල හැමෝටම අත්නොවන බව මා අත්දැකීමෙන්ම දනිමි(මගේ වැඩිමහල් සහෝදරයා එයට ඉතා හොද උදාහරණයකි).මා ජ්‍යොතිෂය බොරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතුව එයට අත්පොත් තැබූවද එය මිනිසාට මහඟු දායාදයක් වන බව උගෙනගතිමි.

නිවැරදි දෛවඥයාගේ භූමිකාව නැවතත් කථිකාවකට ලක් කල යුතු බව මගේ හැගීමය.මෙය තමන් පෙර ආත්මයක සිටි පුහුණු කල යුතු ශාස්ත්‍රයක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඒ නිසාම මෙය පූජනීය වෘත්තියක් ලෙස මා සලකන්නෙමි.මේ වනවිට මා පුරෝකථනය කල බොහෝ දෑ සත්‍ය වූ අතර මතකයේ හැටියට මට වැරදී ගියේ එකම එක ජන්ම පත්‍රයක් පමණි.පලාඵල කථනය ට අවශ්‍ය දැනුම තිබුණාට ප්‍රමාණවත් නොවන බව මා සිතන්නෙමි.මේ සදහා යම් කිසි දිව්‍යමය බලයක් (Divine Power) ද අවැසි වන බව මා අත්දැකීමෙන්ම දනිමි.

ලිපිය ලියන අතරතුර මට මතක් වූ ශ්ලෝකයකින් මා අද ලිපිය අවසන් කරන්නෙමි.෴

“ අප්‍ර දීපා යථාරාත්‍රී රනාදිත්‍යං යථානභඃ

            තථා සාංවත්සරෝ රාජා භ්‍රමත්‍යන්ධ ඉවාධිවනි “

අරුත:- පහන් නොමැති රැය හා හිරු නොමැති අහස යම්සේද,දෛවඥයෙක් නැති රජ ද අන්ධයකු මෙන් ඔබිනොබ බමවයි.

8 comments:

ශාම් said...

මහත්මයාණනි, 1986 පෙබරවාරි මස 8 වන දින පෙ.ව් 11.23 උපන් මාගේ ජන්ම පත්‍රයේද පූර්ණ කාල සර්ප යෝගයක් පවතී. මාගේ කේන්ද්‍රය බැලූ බහුතරයක් දෛවඥයින් එය ඉතාමත් අසුභ පිහිටීමක් බවත් විශේෂයෙන්ම විවාහය සම්බන්ධයෙන් බාධක ඇති වනු ඇති බවත් පැවසීය. නමුත් නාඩි කියවීමකට අනුව මෙය පෙර ආත්මයේ කරන ලද අකුසල වල ප්‍රතිඵලයක් බවත් නමුත් උපන් රටින් පිටව සිටින අය හට මෙහි බලපෑම අවම බවත් පැවසීය. වර්තමානයේ මා එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය ලබන අතර අහම්බයෙන් ඔබගේ ලිපිය කියවීමට ලැබුනු බැවින් ඉහත කරුණු සටහන් කිරීමට සිතුණි. යමක් කීමට ඇත. මම ජ්‍යෝතිශ්‍ය විශ්වාස කරමි. නමුත් එය කර පින්නාගෙන යන්නේ නැත. වර්තමානයේ ජ්‍යෝතිශ්‍යඥයන්ගේ භූමිකාව කතිකාවතකට යොමු කල යුතුව ඇත. මෙම ශාස්ත්‍රය යම් කෙනෙක් පෙර ආත්මවලදී කරන ලද පාපක්‍රියා හේතුවෙන් මෙම ආත්මයේ විඳීමට ඇති අහිතකර ප්‍රතිවිපාකයන් පෙන්වාදී හැකිනම් ඔහු හෝ ඇය හට එයින් මිදීමට හෝ එහි බලපෑම් අවම කර ගැනීමට මාර්ගය පෙන්වා ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මික හා ලෞකික මතු දියුණුව අත් කර ගැනීමට පිටිවහලක් විය යුතුය. නමුත් අද කාලයේ බොහෝමයක් දෛවඥයින් අතින් මෙම කාර්යය සිදු වන්නේ නැත. ඒ වෙනුවට පිහිටක්, සැනසීමක් බලා පොරොත්තුවෙන් ගිය පුද්ගලයෙක් ඒ වෙනුවට තව තවත් මානසිකව වැටීමක් සිදුවේ. අප සිදුහත් කුමරුගේ ජන්ම පත්‍රය මෙවැන්නෙකු බැලුවේ නම්, මොහු ගසක් යට ඉපදී, සත් දිනකින් මව අහිමිවී, රජ සැප අහිමි කරගෙන සය වසරක මාරක අපලයක් ගෙවා දමා නොයෙක් අවස්ථාවලදී සමජයේ ගැරහුම් ලැබ අවසානයේ ගසක් යටම මිය යන බව පවසනු ඇත. මෙම ශාස්ත්‍රය උගත් මා දුටු වෙනත් පුද්ගලයින්ට වඩා වෙනස් දෘෂ්ඨ්කෝණයකින් ඔබ මෙය දෙස බලන බව මට හැඟේ එබැවින් ඔබගේ මෙම වටිනා ලිපියට ස්තූතිවන්ත වන අතර තව තවත් මෙවැනි ලිපි ඉදිරියේදී බලාපොර්ත්තු වෙමි.

ඔබට තෙරුවන් සරණයි!

Madhawa Habarakada said...

ඉතාම වටිනා ලිපියක්. ඔබ කරන්නේ ඉතාම හොද දෙයක්. මමත් ජ්‍යොතිෂය යම් පමණකට විශ්වාස කරනව. මගෙ ලඟ ඒ පිළිබදව පොත් පවා තිබෙනවා, නමුත් භාවිතා කරන්නෙ නම් නෑ. :(
කතාව ඇත්ත. ලංකාවෙ දැන් ඉන්න දෛවඥයො හුඟක්ම කරන්නෙ බොරුව, හරි කෙනෙක් හොයාගන්න අමාරුයි, සහ මේ උඩ අදහසේ තියෙනව වගේ තමා. මිනිස්සුන්ගෙ හිතට සහනයක් දෙන අයාඩුයි. :(

සුදු කලු සහ අළු said...

@ශාම්-ඔව් ඔබේ පූර්ණ කාලසර්ප යෝගයක් පවතිනවා.එමෙන්ම විවාහයට අහිතකර බලපෑම් එල්ල කල හැකි යෝගයක් ද පවතිනවා.සාමාන්‍යෙයන් කාලසර්ප යෝග සහිත ජන්මපත්‍රලාභීන් ගේ විවාහ ප්‍රමාද වීමේ ‘වැඩි ඉඩකඩක්‘ පවතින බව මට ඔප්පු වී ඇති කරුණකි.මේ පිළිබඳ වැඩිදුර කරුණු අවශ්‍යනම් මට ඔබට සහය විය හැකියි.මට ඊමේල් පණිවුඩයක් තබන්න.නමුත් මට ඉක්මනින් ඔබට මේ සඳහා පිළිතුරු එවීමට නොහැක.(අධික කාර්්‍යබහුලත්වය හා මගෙන් ජන්ම පලාඵල කථනය සදහා සැලකිය යුතු මට්ටමක පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින නිසා) නමුත් කෙසේ හෝ ඔබට මා සහය වන්නම්.කිසිවෙකුත් ජ්‍යොතිෂය කරපින්නා ගත යුතු නැත.එය හුදෙක්ම අඳුරේ යන්නෙකුට හමුවූ කුඩා එළියක් වැන්න..,තවද පලාඵල කථනයෙන් බලාපොරොත්තු විය යුත්තේ “රත් වූ යකඩයක් දැන ගෙන අල්ලන ‘ ස්වභාවයක් මිස අන් දෙයක් නම් නොවේ.දීර්ඝ කොමෙන්ටුවක් පල කිරීම සම්බන්ධයෙන් මා ඔබට ස්තූති වන්නෙමි.
තෙරුවන් සරණයි.

@Madhawa- ඔව් ඒක නිසාම තමයි මා කියන්නේ නිවැරදි දෛවඥයාගේ භූමිකාව නැවතත් කථිකාවතකට ලක් කල යුතුයි කියා.දෛවඥයෙකු ජ්‍යොතිෂය පමණක්ම දැනගෙන වෘත්තියේ නියැළිය යුතු යැයි මා සිතන්නේ නෑ.මෙය මිනිසුන්ගේ මනසත් සමඟ කටයුතු කල යුතු දෙයක්,ඒ නිසාම විධිමත් මානසික උපදේශනයක් (Consulting)ලබා දිය හැකි මට්ටමේ පුද්ගලයෙකු ලෙස ඔහු කටයුතු කල යුතු වෙනවා.නමුත් මා කිසිදු දෛවඥයෙක් වෙත දොස් පලනොකරන්නේ සෘෂිවරුන් පැනවූ රීතියම පදනම් කොට නොවේ,ඔවුන් නොසිටියේ නම් ජ්‍යොතිෂය වැලලී යා හැකි නිසාවෙනි.ඔවුනුත් ජ්‍යොතිෂයේ ප්‍රගමනයට දායක වෙනවා වක්‍රකාරයෙන්(නොඑසේ නම් දක්ෂ ජ්‍යොතීර්වේදිය වෙන් කර හදුනාගැනීමට සාමාන්‍ය ජනයාට හැකිවන්නේ නැහැ).සමමර වෘත්තීමය ජ්‍යෝතිර්වේදීන් මුදල් පසුපස හඹායෑම නිසා ඔබේ ආකල්පය ඇතිවී තිබෙන බවක් පෙනීයනවා.අනිත් කාරණය නම් ජ්‍යොතීර්විද්‍යාව බාගෙට දැනගෙන පලාඵල කථනයට යෑම,සමහර තරුණ/තරුණියන් ටියුෂන් පන්තිවලින් මෙන් ජ්‍යොතිෂය උගෙන අන්අයට පලාඵල කථනය සිදුකරන්න උත්සහ කරනවා.සමහරෙකුට සිංහල හැට පැයේ ක්‍රමය අමතකව ඇත.කේන්ද්‍ර සෑදීම පරිගණකයට භාර කරල.රාශියේත් භාවයේත් වෙනසවත් අඳුරන්නේ නැති තරුණ මෙන්ම වයෝවෘද්ධ ජ්‍යොතීර්වේදීන් ද සිටිනවා.නමුත් මේ ඉතාම අතලොස්සක් පමණයි.
ඉදිරියේදී නම් ගම් නැතුව මා ලද ජ්‍යොතිෂයට සම්බන්ධ අත්දැකීම් පෙලක් මෙහි සටහන් තැබීම බලාපොරොත්තු වෙනවා.අදහස් දැක්වීම පිළිබඳ ස්තූතිය පුද කර සිටිනවා෴

Anonymous said...

1985 1 18 දින උදේ 4.16 ට උපන් මාගේ ජන්ම පත්‍රයේ කාලසර්ප යෝගයක් ඇති බව දෛවඥයන් පවසන අතර එය කුමක් සදහා බලපානවාදැයි නොදනිමි.ඔබට තුමාට හැකි නම් මාගේ ජන්ම පත්‍රය පරීක්ශකොට ඒ පිලිබද යම් දැනුමක් මා වෙත ලබාදෙන ලෙස කාරුනිව ඉල්ලමි.

/චතුරිකා ජයවික්‍රම /

සුදු කලු සහ අළු said...

චතුරිකා-ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.ඔබේ ඊමේල් ලිපිනයක් ලබා දෙන්න.නැත්නම් sudukalusahaalu@gmail.com වෙත ඔබේ ඊ මේල් ලිපිනය එවන්න

Indika Perera said...

පූර්ණ කාල සර්ප ‍‍‍යෝගෙයක් ඇත. ම‍‍ගේ ජන්ම පත බැලීමට පවා සමහරැන් කැමති නැත. බැලුවත් කිසිවක් හරියට ‍‍නො කියයි. මා‍ගේ 11 රවී සිටියි හැබැයි තුලා‍වේ, එවිට ‍‍‍‍කෝටියක් ‍‍දෝෂ භංග වෙනව කියන්‍‍නෙ ඇත්ත ද

සුදු කලු සහ අළු said...

@Indika පූර්ණ කාල සර්ප යෝගයක් තිබූ පමණට කිසි සේත්ම බිය විය යුතු නැහැ. රවි 11 සිටීම අඩුවයසින් මිය යන යෝග නසන බව පොත පතේ සදහන්ය, ග්‍රහ තත්වය නොපිරික්සා වැඩි යමක් කීමට අපහසුය.

Indika Perera said...

සමා‍‍‍ෙවන්න ඉහත ඔබ‍‍ගේ ලිපිනය දැක්කා

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.