Monday, January 10, 2011

මටත් හදවතක් ඇත!!!(සිව්වැනි කොටස)

මා එකල ප්‍රේමයට සුහුඹුලෙකු වූ බව ඇත්තය.දැනුදු එහි මහා වෙනසක් නැත යැයි මා සිතමි.දිනෙන් දින මුහුකුරා වැඩුණු මේ සම්බන්ධය කෙසේ ඇතිවූවාදැයි මට අදට ද ගැටළුවකි.
“අපි ඉස්කෝලෙදි වචනයක් වත් කතා කරල නෑ නේද? “
“ඔව් ඒක තමයි මටත් හිතා ගන්න බැරි“ මා දිනක් ඈ සමග පැවසීමි.
images (3) ඒ දිනවල මෙය ප්‍රේමයද නැත්නම් වෙන කුමක් හෝ දෙයැක්දැයි නිගමනය කිරීමට මා මැළිවිය.උදක්ම එය මගේ නොහැකියාව වන්නට ඇත.මුලු ජීවිතයම මනසට භාර දී කටයුතු කල මට මෙවන් හැගීම් ආගන්තුකය,එනිසාම මා ඒ ගැන වැඩිපුර තැකීමක්ද නොකලෙමි.
දිනක් ඇගේ දුරකථනය විසන්ධි ව තිබුණි.මෙය නොකඩවා දින දෙක තුනක් පවතින්නට ඇත.මට කල හැකිව තිබුණේ කෙටි පණිවුඩයක් යැවීමෙන් දුරකථනය නැවත පනගැන්වෙන වේලාව දැනගැනීම පමණි.එය දින දෙක තුනක් වූව ද මට සතියකට සමානය.කුමන හෝ හේතුවක් නිසා මට දැනුණු පාළුව තීව්ර වන්නට විය.
“ආ දැන් දැනෙනව ද කොල්ලට අමාරුව ? “ මිතුරන් මට සමච්චල් කරයි.
මා සිතුවේ ඒ දිනවල ඈ අසනීප වී සිටි බවය.(වරක් එසේ ද වූ බැවින් මෙවරද එසේ වන්නට ඇතැයි මා උපකල්පනය කලෙමි).නමුත් කෙටි පණිවුඩ ලැබුණු බවට ලැබෙන තහවුරු කිරීමේ ලිපියේ ලැබුණු වේලාවන් දෙස බලන විට මගේ පලමු උපකල්පනය වැරදී ගියේය.
කෙසේ හෝ ඈ පසුව මා ඇමතුවාය(එය වත්පොත හරහාද දුරබනුවෙන් ද යන්න මට මතක නැත).
“කොහෙද ගියේ?“
“ගෙදර ගියා “ මට සියුම් කෝපයක් ද ඇතිවුණි.
“මං හිතුවේ අසනීප වෙලා ඇති කියල“
“පොඩ්ඩක් කියල යන්න එපැයි“
“අනේ සොරි අනේ “ ඈ පැවසීය.කිසිදු ගනනකට නොගෙන ඈ පැවසීය.(ඕනැවටත් වඩා ස්තූතිවන්ත කිරීමේ මෙන්ම සමාව අයැදීමේ වදන් ද ඇගේ වදන් මාලාවේ සුලබය)
ඈත් සමග මෙසේ කතා කලද මගේ සීතල ව තිබූ හදවත කෙමෙන් කෙමෙන් උණූසුම් වන බව මට හැගීගියේය.
“යකෝ ඕක තමයි ආදරය කියන්නේ ඕක පිළිගනින්“
“පිස්සුද මේක තවත් ආකර්ශනයක් විතරයි“
“බලපන් දැන් උඹට ඒ කෙල්ල දවසක් කතා කලේ නැත්තම් පාලුයි නේද?“
“කවද්ද උඹ එහෙම කවුරුත් එනකං බලාපොරොත්තුවෙන් හිටියේ?“
මගේ හදවතත් මනසත් එසේ දවස පුරා වාද කරයි.හදවතේ එක් පැනයකින් මගේ මනස නිරුත්තර විය.නැවතත් අපේ මුල්ම හමුවීමේ සිට සිදුවූ සියලු සිද්ධින් මා සාවධානව විශ්ලේශනය කලෙමි.එතකොට මේක දෛවයද ? මා මගෙන් ම ඇසූයෙමි(මා දෛවය තමන් විසින්ම ලිවිය යුතු බව අදහන්නෙකු වූවත් මෙය විවාදාපන්නය).
“කවුද දන්නේ බඹා කොටපු එක්කෙනාද කියල ? “ දිනක් මගේ පාසල් කාලයේ මිතුරෙක් මා සමග පැවසීය.
“මං දන්නෑ බං ඕව “
“මේ එයා දැන් ලස්සන වෙලා නේ බං“ මගේ මිතුරා පවසයි
“මට ඒක වැඩක් නෑ බං,ගතිගුණ තමයි හොද “ මා පැවසීය.
මා ඇගේ දුටු සුවිශේෂම ලක්ෂණය වූයේ මා සිතන විලාසයෙන්ම ඈ ද සිතීමය.මට එකල එය විශ්මය ගෙන දෙන්නක් විය.මා කිසිවිටෙක එසේ චින්තන විලාසයක් ඇති තවත් පුද්ගලයෙකු මෙලොව සිටී වි යැයි කිසිදා සිතුවේ නැත.
මේ කෙටි කාලය තුල මගේ හදවත මනසේ ඒකාධිකාරය බිද දැමීමට සමත්ව තිබිණ.එය මට තවත් ලෝකයේ අලුත් පැතිකඩක් නිරාවරණය කලාය.
ඈ මට අලුතින් නිරාවරණවූ පැතිකඩෙහි මාර්ගෝපදේශකයා විය.මා ඇගේ සිසුවෙකු විය.
“ඔය කෙල්ලෝ කොල්ලො අතර ඇතිවෙන සම්බන්ධ කිසිම හරේකට ඇති දෙයක් නෑ “
“ නෑ හලෝ ඒක සුන්දර දෙයක් “ ඈ මට පවසයි.
කුමන හෝ හේතුවක් නිසා මා එය පිලිගතිමි.සමහරවිට ඈට තිබූ ලෙන්ගතුකම නිසා වන්නට ඇත.ඇගේ විනෝදාංශය මට විකාරයක් විය .පසු කලෙස මා ඇගේ ආගමනය  නිසාදෝ හින්දි චිතුපට බැලීමට පුරුදුවීය.(එතෙක් මගේ චිත්‍රපටි ගබඩාවේ තිබූයේ සියයට අනූනවයක්ම ඉංගිරිසි චිත්‍රපටි ය එය ඒ දිනවල 150කට මදක් වැඩි වන්නට ඇත).
තවත් දිනෙක නැවතත් හිටිහැටියේම ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීය..෴
ප.ලි –මෙහි යම් යම් කොටස් දැන් මගේ මනස උවමනාවෙන්ම අමතක කරන බවක් පෙනීයයි.මීලග ලිපිය මෙහි අවසන් ලිපිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙහි මල් මිටක් දිස්වන්නේ ඈට කරන තුති පිදීමකට බව මා මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.මේ බ්ලොග් අඩවිය මෙවන් ආකාරයකට ලිවීමට පෙලඹවූයේ ඈ බව මා විශ්වාස කරන්නෙමි.ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසක් යැයි වහරේ තිබුනාට මට එම සංකල්පය වලංගු නොවන බව මා ඇගේ මිතුරියට මතක් කරන්නෙමි…..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.