Saturday, January 29, 2011

ගොඩයා…

images (9) මේ ලිපියට ප්‍රස්තූත වූ කාරණා බොහොමයක්  මා පසු ගිය කාලයේ අත්වින්දෙමි.මා ගෙන්දම් පොලොවේ පය ගහන වාර ගණන වැඩිවත්ම මෙය වඩ වඩාත් තීව්ර ලෙස දැනෙන්ට විය.

මගේ පියා මට කුඩා කල සිට මට සිහිපත් කල කතාවක් විය.

“පුතා ප්‍රංශෙට ගියාම ප්‍රංශ කාරයෙක් වගේ හිටපන්“

කුඩා කල මට මෙහි තේරුණේ ප්‍රංශය පමණි.පසුකලෙක මා මෙහි යථාර්තය වටහා ගතිමි.

මා නාගරික සමාජයටත් අතිශයින්ම ග්‍රාමීය වූ පරිසරයටත් එකලෙස අනුගත වීමේ හැකියාව වැඩිදියුණු කර ගත්තේ මා මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක් ලෙස ඉපදිම බව මගේ විශ්වාසයයි. නමුත් මේ අනුගත වීම හමුවේ අසාර්ථක වන අයවලුන් දෙස සමහර නාගරික කොටස් වපරැසින් බලන කල  සියුම් කෝපයක් මසිත ජනිත වෙයි.එය සංසිදෙන්නේ එය ලෝක ස්වභාවය බව මට වැටහීමෙන් පසුවය.

නූතන සංකරත්වයට අනුගත නොවන්නා වත්මන් සමාජයේ “ගොඩයා“ යැයි හදුන්වයි.බහුතරයම ගමේ කොල්ලෝ කෙල්ලෝය.ඔවුන්ගෙන් බහුතරයකටම ඉංගිරිසිය “කතා කිරීමට“ නොහැකිය.ඔවුන් හැදි ගෑරප්පු වලින් ආහාර ගැනීමට නොදනිති.වේලකට රුපියල් දහස් ගණන් වියදම් කරමින් ආහාර නොගනිති.පබ් ගැන අසා නොතිබුනද නයිට් ක්ලබ් ගැන පත්තර වලින් කියවා ඇත.ටයි පටියක් පැලදීමට නොදනිති.ඔවුන් හිපොප් ,රොක් නොදනිති.නොතේරෙන්න ඉංගිරිසියෙන් වනන “සිංහල“ සිංදු ගැන දනිති.ඔවුන් Eminem ලා 2Pac ලා නොදනිති.නමුත් ජෝතිපාල ලා,මිල්ටන් ලා ගැන හොදින් දනිති.

මෙවන් සංකල්පවලින් පුද්ගලයෙකු ගොඩයෙකු වන්නේ කෙසේදැයි මා නොදනිමි.ගොඩයින්ට හිනාවෙන උදවිය නොදන්නා බොහොමයක් ඇති බව මා එවැන්නවුන් ඇසුරු කිරීමෙන් ම දැනගතිමි.

සමහරෙක්ට තනි සිංහලෙන් වදන් හැසිරවීමට නොහැකිය.(වදන් වලින් 75% ක් ම ඉංගිරිසිය).සෙරෙප්පුවක් නොමැතිව පොලොවේ පය ගැහීමට හිරිකිතය.උදැල්ලක් කිසිදා හසුරුවා නොමැත(උදැල්ලක් තබා සමහර තරුණියන් කොස්සක් වත් හසුරුවා නොමැත).රතු හාලේ බතක් ,පොල් සම්බෝලයක් වැනි සරල ආහාරයක් වත් සැකසීමට නොදනිති.නමුත් ඔවුන්ට සොසේජස් වැනි “පෙර පිසින “ ලද ආහාර නම් පිසිය හැක.අසන ගීත වලින් බහුතරයම හුදු ශබ්ද රසය පාදක කොටගත් ඒවාය(මේ කරුණ ඉංගිරිසි ගීත වලට මෙන්ම සිංහල ගීත වලටද පොදුය).ඔවුන් “Eminem ලා 2Pac ලා “ ගැන හොදින්ම දනිති.2Pac මියගිය හැටි ත් ඔහුගේ මුලු කැරැට්ටුව ත් දනිති නමුත් මහගම සේකරයන් ගැන නොදනිති,නන්දා මාලනියන් ගැන නොදනිති,ජෝතිපාලයන් ගැන ද නොදනිති.

ගැටළුව ඇත්තේ මෙතැනය ගොඩයින් ඔවුන්ද ? නැත්නම් මොවුන්ද ?

නූතන සමාජය තුල සංකර වීම දකින්නේ ආභරණයක් ලෙසය.බොහෝ අය ඇමෙරෙකානු ව්‍යාප්තිවාදයේ ගොදුරු වී හමාරය,එයට සාපේක්ෂව ගොඩනැගුණු ඉන්දියානු උපව්‍යාප්තිවාදයට හසුවූ පිරිස අතිශයින් ඉහලය.නුදුරු දිනකදීම ලාංකීය සංස්කෘතිය වියැකී යනු ඇත.එය හුදෙක්ම ආභරණයක් පමණක් වන දිනය මෑතකය.ලොව අන් සියලු ජාතියකටම සුවිශේෂ අනන්‍යතාවයක් ඇති මුත් අපට  “දැන්“ එවැන්නක් නොමැත.ලාංකිකයන් බොහෝ වෙලාවට විදෙස් රටවලදී “ඉන්දියනුවන්“ ලෙස වෙනත් ජාතීන් වැරදියට හදුන්වන්නේ ද මේ නිසාවෙන් වන්නට ඇත෴

Sunday, January 23, 2011

රත්තරන් පොරොව!!!

Stock-market-investing මා කොළඹ කොටස් වෙලඳපොල සමග සම්බන්ධ වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය.ඒ සඳහා යොමු වීමට මට කාලයක සිටම අවශ්‍යතාවයක් තිබූණි.
පළමුවෙන්ම මා කලේ මෙහි ගණුදෙනු සිදුවන ආකාරය සොයාබැලීමය.මේ කාලයේ මට තැරැව්කාර සමාගමක නිලධාරියෙක් හමුවිය.සුපුරුදු ලේඛන ගොන්න පුරවා මා ද ගිණුමක් විවෘත කර ගතිමි.
දැන් ඇත්තේ මිලදී ගැනීමේ වාරයයි.
“මල්ලී ඔයා ගන්න Share එකේ ගාන දාලා මේක පුරවල දෙන්න“
ඔහු මට පෝරමයක් දිගු කලේය.මා ද එය පුරවා දැමීමි.කෙසේ වූව ද මට මෙතරම් නවීන කාලයේත් අතිශයින්ම ගතික ස්වභාවයක් උසුලන වෙලදාමකට මෙය සුදුසු ක්‍රමය දැයි මට එකල සිතෙන්නට විය.සති කිහිපයකට පසුව මට පාසල් මිතුරෙක් හමුවිය.,ඔහු සමඟ ආගිය තොරතුරු කතා කරන විට ඔහු මේ සම්බන්ධව කලක සිට සම්බන්ධ වී සිටින බව මට පසක් වී ගියේය.
“මචං මාත් බැලුව බං සෙට් වෙන්න මාත් අකවුන්ට් එකක් හැදුවා “
“කොලයක් නං පුරවලා දුන්නා තාම එකක් වත් ගන්න නං බැරිඋනා“ මා කීවෙමි.
“යකෝ ඒ ඉස්සර බං කොල පුරවල Shares ගත්තේ“
“ ඒ දවස් වල තමයි බං 2.50 ගානේ 5000 යි කියල එහෙම කෑගහල Shares ඉල්ලන්නේ“
“දැං ඔක්කොම Online වෙන්නේ උඹ වරෙං මාත් එක්ක මගේ Advisor ටම join කරන්නම් උඹවත්“
කියූ ලෙසම මා ඔහුත් සමඟ තවත් ගිණුමක් සෑදීමට ගියෙමි.ඔහු මා වෙනුවෙන්ම එයට පැමිණ සිටීම ගැන අදටද  මා ඔහුට කෘතඥ වෙමි.
දවසින් දවස මෙහි විශ්ලේශනයන් සිදුකලෙමි.අද වනවිට සාර්ථක ලෙස මට යම් යම් සමාගම් කොටස් පිළිබඳ පුරෝකථනය කිරීමට හැකිවිය.
එහි අතුරුඵලයක් ලෙස බොහෝ දෙනෙක් මගෙන් උපදෙස් විමසන්නට විය.මා ඔවුන්ට උපදෙස් දෙන්නෙමි,පුරෝකථනයන් කරන්නෙමි. නමුත් මා ඔවන්ට අවසානයේ දෙන පොදු උපදෙස් කිහිපයක් වෙයි.
“මතක තියා ගන්න Share Market එක කියන්නේ සූදු පොලක් නෙවෙයි“
“ඔබ බලාපොරොත්තු වෙන ලාභය ලැබුණා නම් එය විකුණා දමන්න“
“ඕනෑ වට වඩා ලාභ ලබන්න හිතන්න එපා,බොහෝවිට ඔබ දරපලන්නා ගේ පොරොව නැති වූ පසු ‘රත්තරන් පොරව‘ ක් ලැබුණු කතාවේ අනිත් දරපලන්නාගේ ඉරණමට ගොදුරුවේවි!“

Tuesday, January 18, 2011

දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?

මා පසුගිය දිනෙක නගරයට ගියේ දුරකථන බිලක් ගෙවීම සඳහාය.ලංකාවේ ඇති සුප්‍රසිද්ධ දුරකථන සමාගමක ශාඛාවක් වූ එහි මා යනවිට එතරම් කාර්‍යබහුලත්වයක් පෙනෙන්ට නොතිබිණ.

images (8) එහි සිටි නිලධාරින් සියල්ල ගේ මුවඟ රැදි මද සිනාව සුපුරුදු “ව්‍යාපාරික“ සිනාව නොවන බව මට පසක් වූයේ එහි ගොස් විනාඩි දෙක තුනකට පසුවය.

වයෝවෘද්ධ මහතෙකු දුරබනුවක් අතතැතිව එහි සිටියේය.එය නවීන පන්නයේ එකක් නොවූ අතර ඔහු එයින් ඇමතුමක් ගන්නට තතනයි.

“හෙලෝ … හෙලෝ….“

“සර් කොලපාට බට්න් එක ඔබන්න“ අයෙක් පැවසුවේය.

කෙසේ හෝ ඔහු ඇමතුම ගත්තේය.

“ඉස්සර මං උගන්නන දවස් වල නයින්ටි පර්සන්ට් පාස් රේට් එකක් තිබ්බා ඕලෙවල් ලමයින්ගේ..“
“ඒ දවස් වල දැන් වගේ ටියුෂන් තිබ්බෙත් නෑ“

ඔහු විශ්‍රාමික ගුරුමහතෙකි.ඒ වදන් ඒ බැව් සනාථ කලේය.

“දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?“

“ඔව්“

“එතකොට මේ වෙලාවක් පේන්නේ?“
“ඒකට බැටරිය බහිනව නේ“

“ඔව් ඒ උනාට චාජ් කරන්න පුලුවන්නේ“ එහි සිටි අයෙක් පැවසීය.

“හා මං එහෙනං යන්නා පුතා“ ඔහු සමුදුන්නේය.

මා මේ පිලිබඳ මෙහි සටහන් තබන්නේ මෙය කථාබහට ලක් කල යුතු කථාවක් යැයි මා සිතන නිසාවෙනි.මහ ලොකුවට අංකිත බෙදීමක් (Digital Divide) ගැන කථාකරන උදවිය මේ ගැන නොදන්නවා විය නොහැකිය.

බොහෝ වැඩිහිටියන්ට ජංගම දුරබනුවක් නිවැරදිව හැසුරුවීමට දැනුමක් නොමැති බව  කුප්‍රකට කරුණකි.ඔවුන් මේ සඳහා අනුගත වන්නේ ඉතාමත්ම අවිධිමත් ලෙස මගේ හැඟීමය.ඔවුනට ‘අයි ෆෝන් ‘ අවශ්‍ය නැත.‘ඇන්ඩ්‍රොයිඩ් ‘ අවශ්‍ය ද නැත.අවශ්‍ය වන්නේ නිවැරදිව සාමාන්‍ය දුරබනුවක් ක්‍රියාකිරීමට පමණි.

සංවාදයට විවෘතයි……..

Sunday, January 16, 2011

මොන්ටිසෝරිය

 

 

images (7)මගේ මව මොන්ටිසෝරියට මාව ඇතුලත් කරන විට මගේ වයස අවුරුදු තුනකි.රතු තිත් සහිත සුදු ෂර්ටයක්ද රතු කලිසමක්ද එහි නිළ ඇඳුම විය.

එය කන්‍යාරාමයකි එනිසාම එහි ඉංගිරිසි ආරකට කටයුතු සිදුවිය.එනිසාම මට කුඩා කල සිටම ඉංගිරිසි බසෙහි හුරුවක් ද තිබුණි.මග තොටේ දකින හැම බෝඩ් ලෑල්ලක්ම මා කියැවීමි.එනිසාම මට කියවීම සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු කරගැනීමට ද හැකිවිය.

කන්‍යාරාමයේ වැඩකටයුතු පිළිවෙලකට සිද්ධ විය.වැඩිමහලු අක්කලා අයියලා එහි ගොස් පියානෝ වාදනය උගෙන ගත් හැටිත් මට මතකය.මා මොන්ටිසෝරියේ ඉගෙන ගත් පාඩමක් නොමැත ඒ වෙනුවට මා එහි සිටියවුන් සමඟ ඇති පදමට නැටුවෙමි.උදේපාන්දරම මොන්ටිසෝරියට පැමිණියහොත් මෙරිගෝ රවුමේ ආසනයක් වෙන් කොට ගත හැකිය.

එකලද නරුම කොල්ලන් මට මුණ ගැසුණි.සමහරු ලඟ ආයුධ ද තිබිණ.ඒ දිනවල දරුණුතම ආයුධය ගෙදර මැසින් ලාච්චුවෙන් අම්මාට හොරෙන් උස්සාපු ඉදිකට්ටය.කවුරුන් හෝ අයෙක් ඉඳිකට්ටක් ගෙන උදෙන්ම අනෙක් අයට පෙන්වූ විට ඔහු දවසේ වීරයා ය.කවුරුවත් ඔහු සමඟ ඔට්ටු වීමට යන්නේ නැත.

මා අවුරුදු තුනක් හෝ දෙකක් මොන්ටිසෝරියේ සිටින්නට ඇත.එක වසරට පැමිණිපසු වැඩිමහලු අයියා කෙනෙක්(වැඩිමහලු යැයි කීවාට ඔහු දෙකවසරේය) මා සමඟ පැවසූයේ මා මොන්ටිසෝරියේ දී “පේල් “ වූ නිසා අවුරුද්දක් පහලින් සිටින බවය.එකල මට මෙය නොතේරුණු බැවින් මා ඔළුව හොල්ලා එය අසා සිටියෙමි.

මොන්ටිසෝරියේදී ජීවිතය සරළය.වෙලාවට කෑම ටික අතට ලැබෙයි.කිසිදු වගකීමක් නොමැත,ආදරය කරන්නට ඕනෑ තරම් මිනිසුන් ද සිටිති,විභාගද නොමැත,ඒ නිසාම ගිරවුන් සේ පාඩම් ආයාසයෙන් පාඩම් කිරීමටද අවැසි  නැත.කොටින්ම කියතොත් අතිශයින්ම නිදහස් වූ කාලයකි එය. මෙවන් වූ කාලයක් නැවත ජීවිතයේ උදාවන බව මගේ හැඟීමය ඒ මහලු කාලයය.වෙනසකට ඇත්තේ තරුණ කාලයේදී කරන ලද දේ අනුව පසුතැවිල්ල ක් හෝ සතුටක් පොලී වශයෙන් මතකයට එකතුවීමය෴

Saturday, January 15, 2011

කාලසර්ප යෝගය

කාලසර්ප යෝගය වනාහි මා ජ්‍යොතිෂය ඉගෙනීමට බලපෑ ප්‍රධානතම කරුණු තුනෙන් එකකි.අනෙක් දෙක වනුයේ මගේ වැඩිමහල් සහෝදරයා හා ජ්‍යොතිෂය බොරු කිරීමට මට සිතුනු යටපත් කල නොහැකි ආශාවය.

අයියා ජන්ම ලාභය ලබා ඇත්තේ කාලසර්ප යෝගය ඇතිවය.මීට අමතරව ඔහුගේ බැලූබැල්මට පාපී ග්‍රහ පිහිටීම් කිහිපයක්ද තිබෙන බව එකල දෛවඥයෝ මව්පියන්ට පවසා ඇත.මේ කරුණු පසුව දැනගත් ඒවාය.kala

අයියාගේ කලවයස හරියන විට අඹුවක් සොයා යන විට ඔහුගේ කාලසර්ප යෝගය නිතරම දෛවඥයෝ අන්තිම තුරුම්පුව ලෙස තබාගත්හ.

“මොකක්ද මහත්තයෝ ඔය කාලසර්ප යෝගය කියන්නේ?“

මගේ පියා මේ පිළිබඳ කිහිප දෙනෙකුගෙන් විමසා සිටියද ඔහුවත් මාවත් සෑහිමකට පත්කිරීමට තරම් ප්‍රබල පිළිතුරක් ඔවුන් සතු නොවීය.මීට අමතරව මගේ පියා මා ජන්ම ලාභය ලැබූ මුල් දිනවලම අපේ පැත්තේ සිටි ලංකාවේ සිටි සුප්‍රසිද්ධම දෛවඥමහතෙකුගෙන්(අදටද මෙතුමා ලංකාවේ පහලවුණු විශිෂ්ඨ ඝනයේ දෛවඥයෙකු ලෙස පිළිගැනෙන අතර මෙතුමාගේ පොත් මාද පරිශීලනය කරමි) මගේ කේන්ද්‍රය බැලීමට ගොස් අපූරු කතාවක් අසාගෙන පැමිණි බව පියා මා සමඟ පසු කාලයේ පැවසුවේය.

“හපෝ මේකා නං තියාගන්න එපා “
“වසවර්තියෙක් වගේ එකෙක්“
“කොහෙට හරි දීලා දාන්න“

මා මෑතකදී මේ පිළිබඳ පියාත් සමඟ කතා කලෙමි.

“ඉතින් තාත්තට හිතුනේ නැද්ද මාව කොහෙට හරි ගිහින් දාන්න?“
“මට ඔයා පොඩි කාලේ තේරුණා ඔයා එහෙම එක්කෙනෙක් නෙවෙයි කියල“

මේ ආකල්පය නිසාම මට මෙය බොරු කිරීමේ යටපත් නොකලහැකි ආශාවක් කුඩා කල පටන්ම තිබිණ.මේ සියල්ල නැවත මතුවූයේ අයියාගේ කලවයස හරි යෑමත් සමඟය.ඒ වනවිටත් මා ජන්ම පත්‍රයක්  සෑදීමට තනිවම උගෙන තිබිණ.

මේ නිසාම තාත්තා මට ගුරුවරයෙක් සෙවීමට යත්න දැරූවේය.අවසානයේ මගේ නෑදෑ මාමා කෙනෙකු මාර්ගයෙන් ගුරුවරුයෙකු හමුවිය.මා ජන්ම පත්‍රයද රැගෙන එතුමා හමුවීමට ගියෙමි.

“සර් මට මේක ඉගෙන ගන්න ඕනේ“
“ඔය ළමය කට්ටිය ඉවර වෙනකං අතනින් වාඩි වෙලා හිටියනං“

“ආ කේන්දරේ ගෙනාවාද?“
“ඔව්“

මදක් එදෙස බලා සිටි එතුමා

“ආ මෙයා නං නියම එක්කෙනක් “
“කෝ කෝ පොතක් එහෙම ගෙනාවාද දැන්ම පටන් ගමු ඉගෙන ගන්න අද ඔයාගේ දවසත් හොදයි“

දීප්තිමත් වූ දෙනෙතින් යුතුව සිනාසුණු ඔහු ගේ වදන් මා මවිතයට පත්කලේය.ඒ මා නිල වශයෙන් දෝසතර ඉගෙනගත් දිනයයි.එය බොහොම ඉක්මණින් මා ග්‍රහණය කර ගතිමි එපමණක් නොව නව ජ්‍යොතිෂ ගණිත ක්‍රම කිහිපයක්ම මට නිර්මාණය කිරීමට ද හැකිවිය.ඒවා බොහෝ උනන්දුවෙන් අසා සිටි එතුමා ඒවා ඔහුගේ සටහන් පොත් වල තබා ගත්තේ මා අගය කරමිනි.(දැන් එතුමා විවේක සුවයෙන් සිටින අතර මා ඉඩ ලැබෙන හැම වේලාවකම ඔහු බැහැදකී)

කාලසර්ප යෝගය වනාහී සරළවම කියතොත් රාහු සහ කේතු (ඡායා ග්‍රහයන්ය) ග්‍රහයන්ට අනිත් සියලු ග්‍රහයන් මැදි වීමය.මෙහි උප කොටස් ගණනාවක්ම ඇති මුත් කියනා තරම් අශුභ ඵල හැමෝටම අත්නොවන බව මා අත්දැකීමෙන්ම දනිමි(මගේ වැඩිමහල් සහෝදරයා එයට ඉතා හොද උදාහරණයකි).මා ජ්‍යොතිෂය බොරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතුව එයට අත්පොත් තැබූවද එය මිනිසාට මහඟු දායාදයක් වන බව උගෙනගතිමි.

නිවැරදි දෛවඥයාගේ භූමිකාව නැවතත් කථිකාවකට ලක් කල යුතු බව මගේ හැගීමය.මෙය තමන් පෙර ආත්මයක සිටි පුහුණු කල යුතු ශාස්ත්‍රයක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඒ නිසාම මෙය පූජනීය වෘත්තියක් ලෙස මා සලකන්නෙමි.මේ වනවිට මා පුරෝකථනය කල බොහෝ දෑ සත්‍ය වූ අතර මතකයේ හැටියට මට වැරදී ගියේ එකම එක ජන්ම පත්‍රයක් පමණි.පලාඵල කථනය ට අවශ්‍ය දැනුම තිබුණාට ප්‍රමාණවත් නොවන බව මා සිතන්නෙමි.මේ සදහා යම් කිසි දිව්‍යමය බලයක් (Divine Power) ද අවැසි වන බව මා අත්දැකීමෙන්ම දනිමි.

ලිපිය ලියන අතරතුර මට මතක් වූ ශ්ලෝකයකින් මා අද ලිපිය අවසන් කරන්නෙමි.෴

“ අප්‍ර දීපා යථාරාත්‍රී රනාදිත්‍යං යථානභඃ

            තථා සාංවත්සරෝ රාජා භ්‍රමත්‍යන්ධ ඉවාධිවනි “

අරුත:- පහන් නොමැති රැය හා හිරු නොමැති අහස යම්සේද,දෛවඥයෙක් නැති රජ ද අන්ධයකු මෙන් ඔබිනොබ බමවයි.

Thursday, January 13, 2011

ලා නිනා…… La Nina

 

images (6)

වෙනදාට හතට ඇහැරෙන මාව
දහය වෙනකම් යහනේ තැබූ
නුඹ..

දවස පුරා පොරෝනයෙන් වසා තැබූ
නුඹ..

නිරුවත් දෙපා බිම නොතබන්නට
ඉඩ නොතැබූ
නුඹ..

මගේ ඇඟිලි හිරි වට්ටවා
මට යතුරුලියනය අපහසු කල
නුඹ..

වෙලාවට මගේ වැඩ නිම
කරන්නට ඉඩ නොදුන්
නුඹ..

La Nina(ලා නිනා)..

නුඹ නිසා මට කෙලවුණා෴

 

..::නිමිත්ත::..

මටත් හදවතක් ඇත!!!(අවසන් කොටස)

මේ ඇගෙන් එක දිගට ප්‍රතිචාරයක් නොලැබුනු තෙවන අවස්ථාවය.මෙයින් සිදු වූයේ මගේ මනස තව දුරටත් නිරුත්තර කිරීමට තරම් හදවත කරුණු එක් රැස් කරගැනීමය.සරසවියේ සමීපතම මිතුරෙක් මේ විපරියාසය ගැන හොදන් ඇස ගසාගෙන සිටි නිසා මා මේ පිළිබඳ ඔහු සමඟ මේ පිළිබඳ කටයුතු සාකච්ඡා කලෙමි.ඔහු ඉතාමත් පරිණත ලෙස මෙහිදී කටයුතු කල බව මා කෘතඥ පූර්වකව සිහිපත් කරමි.

images (5) “මචං මං උඹ ගැන හොඳට දන්නවා ,මං කැමති නෑ උඹ වගේ එකෙක් ඕකෙන් නාස්ති වෙනව දකින්න මං මේ උඹ නාස්ති වෙනව කියනව නෙවේ.ඒත් මචං උඹ වගේ එකෙක් නැති උනොත් ඒක ලෝකෙටම පාඩුවක් වේවි.“

මෙහි අඩක් සත්‍ය වූව ද අනිත් කොටස ගැන මා නොදනිමි.ඒ ඔහු මා ගැන තබා සිටි ආකල්පයය.

“බලපන් ඕක කරන්න කොච්චර අමාරුද කියල .අම්බානෙක රිසෝසස් අදිනව බං මොලේ“

ඔහු නැවතත් මා සමග කියාගෙන යයි.ඔහුගේ කියමන සපථ කරමින් ඒ කාරණය නම් පසුකලෙක මට මැනවින් දැනෙන්ට විය.

සාමන්‍යෙයන් මා ඇයට කෙටි පණිවුඩ තබන ශෛලියක් වෙයි.ඒවා හොදින් අවබෝධ කරගැනීමට සමත් වූ බැවින් මා එය සම්මතය කොට ගතිමි.(කුඩා කල සිටන්ම රහස් පණිවුඩ ක්‍රම නිමැවීමේ නිසඟ හැකියාවක් මා සතුවූ බැවින් ඒවා සැකසීම මා හට වඩ වඩාත් පහසු වීය)

එදින ද මා ඈට මෙලෙස පණිවුඩයක් යැවීමි.එදින හවස ඈ මට දුරබැනුවාය.

“මං හදිසියේම ගෙදර ගියා“
“ආ ඇත්තද?“

ඇගේ හඬ ඇසීමෙන් මගේ කෝපය සැනෙකින් නැතිවී ගියේය.මෙය ගැහැණුන් සතුව ඇති සුවිශේෂී හැකියාවක් බව මගේ හැඟීමය.දැන් සුපුරුදු පරිදි කිසිවක් නොසිදුවූ සේ අප දොඩමලු වෙයි.මගේ පියා මේ සම්බන්ධව මාත් සමඟ විටෙක සාකච්ඡා කොට තිබූ කාරණයක් මට සිහිපත් විය.

“පුතා ගැහැණියක් ආශ්‍රය කරල බලපන් “
“ඒක ජීවිතයට පැට්‍රෝල් වගේ දෙයක් !“

පියා එකල එසේ පැවසුවද එය මට අත්දැකීමෙන් ම ඔප්පු වේ යැයි මා කිසිදාක නොසිතුවෙමි.ඈ නිසා මට වෙනත් දුරකථන සම්බන්ධයක් සොයා ගැනීමට සිදුවිය.සරසවියේ දී වේලාසනින් ඇහැරීමට සිදු විය.ඒ එක් කරුණක් වත් මා පීඩාවට පත් නොකිරීම එහි ඇති පුදුමාකාර ස්වාභාවයයි.මෙය සොබාදහමේ වෙනස් නොකල හැකි තවත් න්‍යායක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඈ මෙවන් න්‍යායක් මිනිස් මනස තුල වෙනස් කිරීමට ඉතා අපහසු ලෙස ස්ථාපිත නොකලේ නම් මිනිස් වර්ගයාගේ පැවැත්ම අතිශයින් ගැටළුසහගත වන බව  මගේ හැඟීමය.

පිරිමියෙක් ගැහැණියකගෙන් තමන්ගේ පෙම්වතිය වන්නේදැයි ඇසීම සාමාන්‍ය සාම්ප්‍රදයය.එය එසේම විය යුතු බව මගේ හැඟීමය.ඈ විටින් විට මගෙන් මඟ හැරී යාම තුලින් මෙය ස්ථීර වශයෙන්ම ඇගෙන් විමසිය යුතු බව මට සිතුනි.දිනක් හිතවත් අක්කා කෙනෙක් ,

“ ආ කොහොමද මල්ලි කෙල්ලගේ තත්වේ“
“ ආ අක්කා තාම මං එයාගෙන් අහල නෑ “

“ඉක්මනට අහනව නැත්තම් වෙන එක්කෙනෙක් අහයි“ ඈ මට උපදෙස් දුන්නාය

“ආ ඒකට කමක් නෑ එයාට හොඳක් වෙනවනම්“

මා දුන් පිළිතුරට ඈ නිරුත්තර වී සුසුමක් හෙලූ හැටි අදටද මට මැවී පෙනේ.

මා සැලසුම් කොට තිබුණේ  වාර්ෂික ව පාසලේ සංවිධානය වන සිසුන්ගේ හමුවේදී මේ පිළිබඳ විමසීමටය.නමුත් ඈ විටින් විට මා හා සම්බන්ධ නොවීම නිසා මේ කාරණය තවත් ඉක්මන් විය.ඈ මා හා කතා නොකල දින දෙකක් වූව ද මට සතියක් තරමට දැනෙන්ට විය.

“මචං මේක ඉක්මන් වෙනව බං,ගෙට් එක වෙනකම් ඉන්න බැරි වෙයි වගේ “
“උඹෙත් කැටයම් නේ අනිත් එක ඔච්චර දැනෙන එකේ ඕක අහල ඉවර කරපන් අනික දැන් උඹ හොදටම දන්නවනේ මේක හරි කියල“

ඒ සදහා මගේ මනස සැලසුම් කරන්නට විය.ඈටත් මටත් මුළු ජීවිත කාලයටම මතක හිටින සංසිද්ධිය ක් නිර්මාණය කිරීමේ වගකීම මගේ මනස විසින් බාරගෙන තිබුණි.ඈ මවිත කිරීමට මට හැකි සියලු දේ දින කිහිපයකින් මා සැලසුම් කලෙමි.(මා ඒ පිළිබඳ මෙහි ලිවීමට අදහස් නොකරන්නේ කිසිවෙකුට මෙය කියවා පසුතැවිල්ලක් ඇතිවේ යැයි සිතෙන නිසාය,ඒ නිසාම මෙය කාලයේ වැලිතලාවෙන් වැසී ගියාවේ…).ඈ එයට සූදානම් කිරිමේ අටියෙන් මා ඈ සමඟ වත්පොත් සංවාදයක නියැලුනෙමි.මේ අදාල දේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කල දිනට පෙර දිනයය.

මේ කතාබහ වෙනදාට වඩා ගැඹුරු විය.මා කිරීමට යන දේ සහ මා පිළිබඳ නැවතත ඈට කරුණු කීවෙමි.හදිසියේම ඇගේ වත්පොත් ගිණුම ඈ අවලංගු කලාය.මා සිතුවේ මෙය සිදුවූයේ මා නිසා සිදුවූවක් බවය .මෙය මට දරාගත නොහැකි තරම් වේදනාවක් ගෙන දීමට සමත්විය.කොතරම් ගැටළු තිබුණද මට නිදියහනේදී ඒ සියළු දේ අමතක කොට සුවසේ නිදාගැනීමට හැකිවූව ද මේ කාරණයේදී මා අසරණ විය.

මට දොලහේ කණිසම ද අළුයම එකේ තුනේ හතරේ පහේ සහ හයේ කණිසමද ඇසීමට තරම් මා අඩ නින්දේය.ඒ මා මට මතක ඇති කාලයක නිදිවැරූ කාලයයි.අළුයම ද මට මගේ මිතුරා කතා කොට මා සනසන්නට උත්සහ දැරීය.

“පොඩ්ඩක් ඉදපන් මචං උදේ වෙනකම් අපි දන්නේ නෑ නේ වෙන මොකක් හරි කේස් එකක් ද කියල“

උදේ ඈ මට දුරබැනීය.

“ඔව් අනේ මං අකවුන්ට් එක ඩී ඇක්ටිවේට් කලා .මට කොල්ලෝ වගයක් කරදර කරනව“

“කවුද ඕකුන්?“ මා කෝපයෙන් ඇගෙන් ඇසු නමුදු ඈ එයට පිළිතුරු නොදුන්නාය.ඈ මට එදින හවස අමතන බව පවසමින්  මට සමුදුන්නාය.ඊට පසුදින මට ආයතනික පුහුණවක් සඳහා ගෙන්දගම් පොලොවේ පය ගැසීමට සිදු වන නිසා මා කොළඹට ආසන්න මගේ මිතුරෙකුගේ නිවසට පැමිණියෙමි.ඒ වනවිට ඔහුත් මෙය දැනගෙන සිටියේය.

එදින රාත්‍රිෙය් ඈ මට දුරබැනීම ප්‍රතික්ශේප කලාය.ඈ මට කෙටි පණිවුඩයක් එවමින් කියා සිටියේ ඇගේ පරණ පෙම්වතා කතා කරන බැවින් එයින් ඈ මහත් වූ සිත්තැවුලකට පත්ව ඇති බවය.මේ වනවිට මගේ සියලු සැලසුම් බොඳ වී හමාරය.කෙටි පණිවුඩයිකින් ආදරය ප්‍රකාශ කරනවා විනා අන් කල හැකි දෙයක් නොමැති වූ නිසා මා ඒ විකල්පයට ගියෙමි.

ඈ පසුදින මට කෙටිපණිවුඩයක් එවමින් ඈ අමතක කරන ලෙස පැවසීම මගේ කෝපය දෙගුණ තෙගුණ වන්නට විය.

“මචං ලෝකේ ඕන තරම් අෆයාර්ස් තියෙනව ඔහොම මං අඳුරන කොල්ලෙකුත් එහෙම තමයි ඉන්නේ උන් කවදාවත් එහෙම අහල ත් නෑ ඒ උනාට උන් යස අගේට ඉන්නවා“

එක් මිතුරෙක් තරහින් කියාගෙන යයි.

“මචං මං එක දවසක් හරි ආදරය කරපු කෙල්ලෙක් මේ ,මට බෑ ගිහින් බනින්න ඒක එයාගේ කැමැත්ත නං මං මේක නවත්තනව“ මා කීවෙමි.

නමුත් මෙයට මගේ අනෙක් මිතුරා අකමැති විය.

“මචං මං උඹත් එක්ක එන්නම් මේ වැඩේ ඉවර කරන්න අපි දෙන්න යමු  එයා හම්බවෙන්න“

ඈ ඊට පසුදින මට කතා කලාය.සුපුරුදු හිතවත් ගතිය ඇගේ කටහඩින් අතුරුදන්ව ගොස් තිබිණ.ඈ බොහෝ දෑ මාත් සමග කීවාය.එයින් මට ගම්‍ය වූයේ ඇගේ පරණ පෙම්වතා සමඟ ඇගේ හාදකම තවමත් පවතින බවය.මා ඒ දින කිහිපයට විඳි  වේදනාව දෙවැනි වන්නේ මගේ මවගේ වියෝ වීමට පමණි.

මට මෙය අවසන් කිරීමට අවැසි විය.ඒ සදහා මට මගේ මනසත් හදවතත් එකඟ කරවා ගැනීමට අවශ්‍ය විය.ඒ සදහා මගේ මවගේ වාර්ශික දානය යෙදෙන දින මේ වෙනුවෙන් වැය කරන අවසන් දිනය බවට මා තීරණය කලෙමි.

මා ඈට ඒ දිනයට පෙර මේ සම්බන්ධව කතා කල හැකි දෙයක් තිබේ නම් කතා කරන ලෙස දැනුම් දුන්නෙමි.ඉන් පසු ඒ පිළිබඳ කතා නොකරන බවටත් නැවත කතා කරන්නේ නම් ඒ කතා කරන්නේ යහලුවෙක් ලෙසම පමණක් බව ඈට පොරොන්දු විය.(මා කිසි කලක පොරොන්දු කඩ නොකරන බව මගේ සමීපතම මිතුරනුත් ඈත් හොදින්ම දනී.)

නමුත් ඈ එයට දුන් ප්‍රතිචාර නොදුන්නාය.මට මගේ උපකල්පනය මත එල්බගෙන ඈට පෙම්වතියගේ භූමිකාව අහිමි කරන්නට මට සිදුවිය.මෙයින් මා අප්‍රමාණ වූ අත්දැකීම් ප්‍රමාණයක් ජීවිතයට එකතු කර ගතිමි.එය මට කවදා හෝ ඉදිරියේදී උපකාරී වේ යැයි මට සිතෙන්නෙමි.එයින් පසු ඈට මා ලියුමක් ලිව්වෙමි.ඒ වනවිට ඈ ඇගේ වත්පොත නැවත සක්‍රීය කොට තිබුණි.කුමන හෝ හේතුවක් නිසා ඈ එහි තිබූ වදනක් වැරදියට වටහා ගෙන මා ඇගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කොට තිබුණි.එයින් මෙය අවසන් විය.“සුදු කලු සහ අළු “ වල මා ලියන ලද දිගම සටහන් මාලාවද විය.෴

පසුවදන

මෙහි තුන්වැනි කොටස පලවී දින කිහිපයකට පසු ඇගෙන් නැවත මට ඇමතුමක් ආවේය.(හරියටම එය අප කතාබහින් ඉවත් වී මාසයක් ගෙවී ගිය තැනය..).මා මෙහි තබන සටහන් සියල්ල මගේ වත්පොත් බිත්තියට මුසු කලෙමි.එපමණක් නොව මගේ මිතුරන් නොවන අයෙකුට වුවද එහි ඇති දේ නැරඹීමට හැකි සේ කටයුතු සකස් කලෙමි.ඒ ඈ කවදා හෝ මෙය දකීවි/බලාවි යැයි මට සිතුනු නිසාය.

මා සිතූපරිදිම ඈ මෙය කියවා තිබුණි.

“මං මේ වෙච්ච සිද්ධිය මගේ හොදම යාලුවෙක් එක්ක කිව්වා.එයා ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක්කෙනෙක් එයා කිව්වා ඔයාගේ වෝල් එක බලන්න කියල ,අර සුදු කලු කියල එකක් ලියන්නේ ඒකේ ඔයා ලියන්නේ මං ගැන නේද?“

“ඔව් “ මා කීවෙමි.

“ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කලාට ඔයා තරහද දන්නේ නෑ“
“පිස්සුද මං මොකටද තරහවෙන්නේ“

“මට යාලුවා කිවවේ ඔයා ඒ සිද්ධිය නිසා මගෙන් පළිගන්න මේක ලියනව කියල“

ඈ වෙනදාට වඩා අමුතු ලෙස මා සමග කතා කලාය.ඈ මට ඇමතුයේ මගේ මුල් නම් දෙකම කියමින්ය .මේ ඈ කතා කරන්නේ ඇගේ මිතුරියගේ මෑනීමකට(Manipulation) හසුවීමෙන් බව මට වැටහී ගියේය.(එලෙස මට අමතන්නේ මා දන්නා ඒත් මා හරියටම නොදන්න අයවලුන් බව මා දනිමි)

“මං කවුද කියල දන්නවනේ “ මා ඇගෙන් ඇසූයෙමි.
“ මං අද වෙනකම් ඔයාට වචනයකින් වත් කරදර කරේ නෑ ඒක මතක තියා ගන්න“

“ඔව් ඒක මං දන්නවා “

“මං ඔයාට ඒ යාලුවගේ නම කියන්නේ නෑ“ දැන් ඈ මා හා සුපුරුදු විලාසයෙන් කතා කරයි.

මට ඇගේ මිතුරියගේ නම අවශ්‍ය නොවූවත් මා ඇගේ මිතුරිය කවුද යන්න දන්නා බව ඈට මතක් කරන්නෙමි.මට ඇගෙන් පළිගැනීමට නම් මේ ආකාරයට සටහන් තැබීමේ කිසිදු වුවමනාවක් නොමැති බව මෙන්ම එසේ කිරීමට අවශ්‍ය වූවා නම් ඇගේ සයිබර් අනන්‍යතාවය මුලුමනින්ම කණපිට ගැසීමේ හැකියාවෙන් මෙන්ම දැනුමින්ද මා එකලද  සන්නද්ධ වී සිටි බව ඇගේ මිතුරියට නැවත නැවත වාරයක් මතක් කරන්නෙමි.

අදටද ඈට මා ආදරය කරන්නෙමි(ප්‍රේමය නොවේ)අදටද මගේ උරහිස ඈට හිමිය.ඒ හිමිවන්නේ ඈට මා පෙම් කල නිසා නොව ඈට මගේ යෙහෙලියකටත් වඩා සහෝදරියකට මෙන් මා සලකන නිසාවෙනි

ප්‍රේමය පූජනීයය ,පාරිශුද්ධ යැයි හැදින්වීම විවාදාපන්නය.මන්ද බොරුවට ප්‍රේම කිරීම හුදු වදනක් ම පමනක් වන බැවිනි.බොරුවට ප්‍රේම කිරීමේදී එයින් ප්‍රේමය පෑළ දොරින් නික්මී ගොස් අවසන්ය෴.

Wednesday, January 12, 2011

උඹ ලියන්නේ ජීවිත කතාවද?

මීට දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් මගෙන් පැනයක් ඇසුවේය.
“උඹ ඔය ලියන්නේ ජීවිත කතාවද?“
මා එයට සිනහවකින් පිළිතුරු දුන් නමුදු එය මෙහි සටහන් තැබීමට තරම් වූ ප්‍රස්තූතයක් බව මට හැගුණි.
මට ස්වයංලිඛිත චරිතාපදානයක් බිහිකිරීමේ කිසිදු වුවමනාවක් නොමැත.මා එතරම් අධ්‍යයනය කරන්න තරම් වැදගත් අයෙක් නොවෙමි.මේ ගෙවීයන්නේ මගේ විසිතුන්වැනි වසරය,ආසන්න වශයෙන් මා මේ වනවිට මගේ දිවියේ තුනෙන් එකක් ගෙවා දමා හමාරය.(මෙය භාගයක් ද තුන් කාලක්ද යන්න සොබාදහම තීරණය කරාවි..)එයිනුත් මට විසිවසරක මා අත්විදපු දෑ ඉතා නිවැරදිව මතකය.
ඉන් බොහෝ දෑ අන් අයට තම ගමන් මගේ ඇතිවන කම්කටොලු වල දී උපකාර වේවි.මා මුලින් සිතුවේ මෙහි සටහන් තබන සිද්ධින් වලට මුහුණ දුන් පලමු පුද්ගලයා මම බවය.නමුත් එය තවත් වැරදී ගිය උපකල්පනයක් බව පසක් වූයේ අන් මිනිසුන් මෙවන් දෑ මා සමග පවසන විටය.
මා අත්විදි දෑ මෙහි සටහන් ලෙස තබන්නේ මේවා කියවා “සුසුම් හෙලීමට හෝ සිනාසීමට“ පමණක්ම නොව ලෝකයේ යථාර්තය සොයාගැනීමේ මග සලකුණු බිහි කිරීමේ අටියෙනි.
මා යථාර්තය ලියන්නට වෙරදරමි.එය කොතරම් තාත්විකව ලිවීමට හැකිදැයි මා  නොදනිමි.මෙහි තබන හැම වදනකටම සාහිත්‍ය මුසු වීම අවිඥානිකව මවිසින් කරන්නකි.එයින් යථාර්තය දුහුල් රෙද්දෙන් වැසීයාම ගැන සියල්ලන් කමා කරත්වා!!!෴

Monday, January 10, 2011

මටත් හදවතක් ඇත!!!(සිව්වැනි කොටස)

මා එකල ප්‍රේමයට සුහුඹුලෙකු වූ බව ඇත්තය.දැනුදු එහි මහා වෙනසක් නැත යැයි මා සිතමි.දිනෙන් දින මුහුකුරා වැඩුණු මේ සම්බන්ධය කෙසේ ඇතිවූවාදැයි මට අදට ද ගැටළුවකි.
“අපි ඉස්කෝලෙදි වචනයක් වත් කතා කරල නෑ නේද? “
“ඔව් ඒක තමයි මටත් හිතා ගන්න බැරි“ මා දිනක් ඈ සමග පැවසීමි.
images (3) ඒ දිනවල මෙය ප්‍රේමයද නැත්නම් වෙන කුමක් හෝ දෙයැක්දැයි නිගමනය කිරීමට මා මැළිවිය.උදක්ම එය මගේ නොහැකියාව වන්නට ඇත.මුලු ජීවිතයම මනසට භාර දී කටයුතු කල මට මෙවන් හැගීම් ආගන්තුකය,එනිසාම මා ඒ ගැන වැඩිපුර තැකීමක්ද නොකලෙමි.
දිනක් ඇගේ දුරකථනය විසන්ධි ව තිබුණි.මෙය නොකඩවා දින දෙක තුනක් පවතින්නට ඇත.මට කල හැකිව තිබුණේ කෙටි පණිවුඩයක් යැවීමෙන් දුරකථනය නැවත පනගැන්වෙන වේලාව දැනගැනීම පමණි.එය දින දෙක තුනක් වූව ද මට සතියකට සමානය.කුමන හෝ හේතුවක් නිසා මට දැනුණු පාළුව තීව්ර වන්නට විය.
“ආ දැන් දැනෙනව ද කොල්ලට අමාරුව ? “ මිතුරන් මට සමච්චල් කරයි.
මා සිතුවේ ඒ දිනවල ඈ අසනීප වී සිටි බවය.(වරක් එසේ ද වූ බැවින් මෙවරද එසේ වන්නට ඇතැයි මා උපකල්පනය කලෙමි).නමුත් කෙටි පණිවුඩ ලැබුණු බවට ලැබෙන තහවුරු කිරීමේ ලිපියේ ලැබුණු වේලාවන් දෙස බලන විට මගේ පලමු උපකල්පනය වැරදී ගියේය.
කෙසේ හෝ ඈ පසුව මා ඇමතුවාය(එය වත්පොත හරහාද දුරබනුවෙන් ද යන්න මට මතක නැත).
“කොහෙද ගියේ?“
“ගෙදර ගියා “ මට සියුම් කෝපයක් ද ඇතිවුණි.
“මං හිතුවේ අසනීප වෙලා ඇති කියල“
“පොඩ්ඩක් කියල යන්න එපැයි“
“අනේ සොරි අනේ “ ඈ පැවසීය.කිසිදු ගනනකට නොගෙන ඈ පැවසීය.(ඕනැවටත් වඩා ස්තූතිවන්ත කිරීමේ මෙන්ම සමාව අයැදීමේ වදන් ද ඇගේ වදන් මාලාවේ සුලබය)
ඈත් සමග මෙසේ කතා කලද මගේ සීතල ව තිබූ හදවත කෙමෙන් කෙමෙන් උණූසුම් වන බව මට හැගීගියේය.
“යකෝ ඕක තමයි ආදරය කියන්නේ ඕක පිළිගනින්“
“පිස්සුද මේක තවත් ආකර්ශනයක් විතරයි“
“බලපන් දැන් උඹට ඒ කෙල්ල දවසක් කතා කලේ නැත්තම් පාලුයි නේද?“
“කවද්ද උඹ එහෙම කවුරුත් එනකං බලාපොරොත්තුවෙන් හිටියේ?“
මගේ හදවතත් මනසත් එසේ දවස පුරා වාද කරයි.හදවතේ එක් පැනයකින් මගේ මනස නිරුත්තර විය.නැවතත් අපේ මුල්ම හමුවීමේ සිට සිදුවූ සියලු සිද්ධින් මා සාවධානව විශ්ලේශනය කලෙමි.එතකොට මේක දෛවයද ? මා මගෙන් ම ඇසූයෙමි(මා දෛවය තමන් විසින්ම ලිවිය යුතු බව අදහන්නෙකු වූවත් මෙය විවාදාපන්නය).
“කවුද දන්නේ බඹා කොටපු එක්කෙනාද කියල ? “ දිනක් මගේ පාසල් කාලයේ මිතුරෙක් මා සමග පැවසීය.
“මං දන්නෑ බං ඕව “
“මේ එයා දැන් ලස්සන වෙලා නේ බං“ මගේ මිතුරා පවසයි
“මට ඒක වැඩක් නෑ බං,ගතිගුණ තමයි හොද “ මා පැවසීය.
මා ඇගේ දුටු සුවිශේෂම ලක්ෂණය වූයේ මා සිතන විලාසයෙන්ම ඈ ද සිතීමය.මට එකල එය විශ්මය ගෙන දෙන්නක් විය.මා කිසිවිටෙක එසේ චින්තන විලාසයක් ඇති තවත් පුද්ගලයෙකු මෙලොව සිටී වි යැයි කිසිදා සිතුවේ නැත.
මේ කෙටි කාලය තුල මගේ හදවත මනසේ ඒකාධිකාරය බිද දැමීමට සමත්ව තිබිණ.එය මට තවත් ලෝකයේ අලුත් පැතිකඩක් නිරාවරණය කලාය.
ඈ මට අලුතින් නිරාවරණවූ පැතිකඩෙහි මාර්ගෝපදේශකයා විය.මා ඇගේ සිසුවෙකු විය.
“ඔය කෙල්ලෝ කොල්ලො අතර ඇතිවෙන සම්බන්ධ කිසිම හරේකට ඇති දෙයක් නෑ “
“ නෑ හලෝ ඒක සුන්දර දෙයක් “ ඈ මට පවසයි.
කුමන හෝ හේතුවක් නිසා මා එය පිලිගතිමි.සමහරවිට ඈට තිබූ ලෙන්ගතුකම නිසා වන්නට ඇත.ඇගේ විනෝදාංශය මට විකාරයක් විය .පසු කලෙස මා ඇගේ ආගමනය  නිසාදෝ හින්දි චිතුපට බැලීමට පුරුදුවීය.(එතෙක් මගේ චිත්‍රපටි ගබඩාවේ තිබූයේ සියයට අනූනවයක්ම ඉංගිරිසි චිත්‍රපටි ය එය ඒ දිනවල 150කට මදක් වැඩි වන්නට ඇත).
තවත් දිනෙක නැවතත් හිටිහැටියේම ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීය..෴
ප.ලි –මෙහි යම් යම් කොටස් දැන් මගේ මනස උවමනාවෙන්ම අමතක කරන බවක් පෙනීයයි.මීලග ලිපිය මෙහි අවසන් ලිපිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙහි මල් මිටක් දිස්වන්නේ ඈට කරන තුති පිදීමකට බව මා මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.මේ බ්ලොග් අඩවිය මෙවන් ආකාරයකට ලිවීමට පෙලඹවූයේ ඈ බව මා විශ්වාස කරන්නෙමි.ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසක් යැයි වහරේ තිබුනාට මට එම සංකල්පය වලංගු නොවන බව මා ඇගේ මිතුරියට මතක් කරන්නෙමි…..

Wednesday, January 5, 2011

මටත් හදවතක් ඇත!!!(තෙවන කොටස)

අප දෛනික දුරකථන සංවාද වල නොයෙදුන ද නිතරම පාහේ වත්පොත් සංවාදයන් වල නම් නොවරදවාම යෙදීමේ අවිඥානික පෙළඹවීමක් අප දෙදෙනා තුලම සති කිහිපයක් තුල වර්ධනය වී තිබිණ.සංවාද වල නොයෙදුන දාට මහ මුස්පේන්තු හැගීමක් මා තුල ජනිත විය.කවදාවත් කතා නොකල හදවත ඒ වෙනුවෙන් මනසත් සමග අරගල කරන්නට විය.
images (2) මා ජීවිතයේ තීරණ ගැනීමේදී මගේ මනස මත කොන්දේසි විරහිතව යැපෙන කාලයකි ඒ කාලය(එනිසාම මා ලබාගත් ජයග්‍රහණයන්ද බොහෝය).මෙතෙක් කාලයක් නිදා සිටි හදවතට දැන් ඇති රුදාව කුමක්ද යන්න නිතරම මගේ මනස මගෙන් ප්‍රශ්න කරන කාලයකි එය.නුමුත් අප සතියකට එක් වතාවක් හෝ අපේ අදහස් වදන් වලින් හුවමාරු කරගතිමු.මේ බොහෝ කතා බහ ප්‍රබුද්ධ ඒවා යැයි අදද මට සිතේ.අන්තර්ගතයේ බහුතරය ඕපාදූප වලින් තොර විය.වල් පල් ද නොමැත(ඉදහිට තිබුනා නැත්තේත් නොවේ)අප ජීවිතය ගැන කතා කලෙමු.විවාහ පරිසරය ගැන කතා කලෙමු(පොදුවේ විවාහය යන සංකල්පය ගැන මිස අප ගැන නොවේ,එය අප උවමනාවෙන්ම මග හැරියෙමු එකිනෙකාට නොදැනන සේ..).ධර්මය ගැන කතා කලෙමු.නූතන සමාජ සන්ධර්භය ගැන කතා කලෙමු.දුරබනුවල බැටරිය විසර්ජනය වන තෙක් අප කතා කලෙමු.(අදටද එහි ඇතැම් සංවාද ඇගේ හඩින්ම මගේ මනසේ දෝංකාර දෙයි)
මට අමුතු විපරියාසයක් වන බව මට අනුක්‍රමයෙන් තේරුම් ගියේය.ලෝකය දෙස අමුතු ඇසකින් බැලීසට මා පුරුදු උනෙමි.පාසල් කාලයේ මගේ මිතුරන් ඇති කරගත් හාදකම් දෙස මා බැලුයේ අවඥාසහගතවය .එවන් සම්බන්ධකම් ඇතිවනුයේ හුදු ආකර්ශනය,රාගය වැනි ප්‍රාථමික මනෝමූල වලින් බව එකල මගේ හැගීම විය.(සමහරක් එසේ වීමට ද බැරි නැත !)
ඔවුන් උපකාරක පන්ති වලට යන අතරතුර,පාසල් කොරිඩෝර වල පැය ගනන් මිමුණූ දෑ ගැන දැන ගැනීමේ යටපත් නොකල හැකි කුතුහලයක් එකල පහල විණි.
“මචං මොනාද බං ඔච්චර වෙලා කතා කරන්න උඹලට තියෙන්නේ ?“
“මේං බලපංකෝ මූ “
“උඹත් කවද හරි මෙහෙම වෙච්ච දාට උඹට ඕක තේරෙවි“
ඔහු එසේ කීවාට මට එය අත්දැකීමෙන් තහවුරුවීමට අවම වශයෙන් වසර 4ක් වත් ගතවන්නට ඇත.
පුද්ගල විශ්වාසය මා අර්ථකතනය කරන්නේ අනෙකාගෙන් උපයා ගත යුතු දෙයක් ලෙසය.
දිනක් ඈ,
“ඔයා මා විශ්වාස කරනවද ? “
“ඔව් ඔයා ඒක බොහොම ඉක්මනට හම්බකරගත්තා“ මා පිළීවදන් දුනෙමි.
ඒ පිළිතුර කෙසේ ආවාදැයි මගේ මනස අදටද නොදනී
“දැන් ඔයා මාව විශ්වාස කරනවද? “ මැ ඇගෙන් පෙරලා ඇසීමි.
“ඔව්,  දැන් ඔයාට ඕන කරල තිබ්බ උත්තරේ හම්බුනා නේ “ ෴

Tuesday, January 4, 2011

මටත් හදවතක් ඇත!!!(දෙවන කොටස)

ඒ සරසවියේ අර්බුද මතුවූ කාලසීමාවකි.පරිපාලනයේ අත්තනෝමතික තීරණයක් නිසා පන්ති වර්ජනයකට යාමට ඔන්න මෙන්නය.දිනක් මට ඇගෙන් ඇමතුමක් ලැබුණි.එය හුදෙක්ම සාමාන්‍ය දුර ඇමතුමකි.(සාමාන්‍යෙයන් මෙවන් ඇමතුම් ලැබීම මට සුලබ දෙයකි 99% ම පාහේ පරිගණක දෝශ නිරාකරණයට උපදෙස් පතා පැමිණෙන ඒවාය).
celly.preview “හෙලෝ මගේ ෆේස්බුක් අකවුන්ට් එකට මට ලොග් වෙන්න බෑ“
“ඔයත් එක්ක මොනාද චැට් කලේ?“
“මගේ නම්බර් එක ඇහුවේ “ මා කීවෙමි.මට නං ඒක ප්‍රශ්නයක් නෑ.දැන් මගේ සුපුරුදු දේශන විලාසයෙන් මා ඈට උපදෙස් දුන්නෙමි.ඒ උදෙසාම මට නැවතත් විද්‍යාගාරය වෙත යාමටද සිදුවිය.(පරිගණක ආරක්ෂණ උපක්‍රම පිළිබද මා අතිශයින්ම උනන්දු වන බැවින් මෙවන් අවස්ථා මට අතිශයින්ම වැදගත්ය).
සරසවියේ එදින සවස මහා සභා රැස්වීමකි,අපට පසු දින අර්ධ වාර්ශික පරීක්ෂණයකි!!. කාලය අපතේ නොහැරීමට අප එකග වූ නිසා එයට සහභාගි වූ නුමුත් ,
“මචං හොස්ටල් ඉන්න එපා හොස්ටල් චෙක් කරන්න එනවා“ ඉහලින් පණිවිඩයක් පැමිණුනි.
එකෙනෙහිම අප කන්ඩායමක් පොත්ද පැත්තක දමා කලිසමක් රුවාගෙන පාරට බැස්සෙමු.යන අතරමග නැවතත් මට ඇමතුමක් පැමිණියේය.
“හෙලෝ “
“****** ද කතා කරන්නේ“
“ඔව්“
දැන් අප දෙදෙනා කතා කරයි.
“මං හිතුවේ ඔයාට තියෙන්නේ මහ ගැඹුරු කටහඩක් කියල,ඒත් හරි ෆ්‍රෙන්ඩ්ලි කටහඩක් නේ ඔයාට තියෙන්නේ“ ඈ කියයි.
“අද මහ ජරා දවසක් අනේ“
“ඇයි FB අකවුන්ට් එක හැක් උන නිසාද?“
“ඒකත් එක හේතුවක් තමයි “ ඈ සිනාසෙයි.
මේ කතාබහ එදින පැයකට ආසන්න කාලයක් මහ මගදී පැවතිණි.ඒ වනවිට ගොම්මන් යාමයද පසුවී හමාරය.ඉදිරියෙන් යන මිතුරු රැළගේ ඡායාවද හිටිගමන් අතුරුදන්විය.මදක් විපරම් කොට බලන විට ඔවුන් ලග කඩේකට රිංගා රෑට ආහාරයක් සොයයි.
“ඔයා පස්සෙන් යන්නේ මුරද? “
“ නෑ ඔයත් එක්ක කතා කරනකොට මං පොඩ්ඩක් පහු උනා“ මා කීවෙමි.
මට විටින් විට දෝසමුරයක්ද ඉදිරියෙන් ගිය මිතුරෙකුගෙන් එල්ල විය.
අප දෙදෙනා ඒ පලමු වරට කතා කල දවසය එදා.ඈ පාසලේදී නාට්‍ය වලදී මගේ කටහඩ අසා තිබුණද මා ඇගේ කටහඩට මුල් වරට ඇසුයේ එදාය.අප ඒ වනවිට පාසලෙන් ඉවත් වී අවුරුදු 3කි.ඒ අතර කාලයේ සිදුවු දේ ඈ විස්තර කලාය.මා ද එසේ කලෙමි.
“ඔයා රෑට කාලද?“ ඈ අසයි.මෙම ප්‍රශ්නය මට නුහුරුය.මගේ ජීවිතයේ මගේ මව හැරෙන්නට එසේ ඇසු ප්‍රථම තැනැත්තිය ඈය.මදකට මා නිශ්ශබ්ද වීමි.
“නෑ තාම නෑ“
“ඔයා ? “
“මං කාලා ඉන්නේ “
“හරි හරි එහෙනම් කන්න මං පස්සේ වෙලාවක කතා කරන්නම් “
“බුදු සරණයි ,ගුඩ්නයිට්“
අප සමුගත්තෙමු.ඇගේ සමුගැන්මේ විලාසයද මට ඒ කාලයේ නුහුරුය.එය දෙමුහුන් වූ සුබ පැතුමකි. දැන් මා නැවතත් පියවි ලෝකයේය.
“මොන බම්බුවක්ද යකෝ කරන්නේ ? මල් කඩනව කියල ඔහොමත් කඩනවද?“
“දැං කියපං අපි කොහෙන්ද රෑට කන්නේ කියල?“
මිතුරන් මට ලුණු ඇඹුල් ඇතුව දෙහි කපයි.
“හරි හරි අපි ## කඩේට යමු “ මා කීවෙමි.ඒ වනවිටත් ඔවුන් මා වෙනුවෙන් ඉතුරු කොට තබාගත් කෙහෙල් ගෙඩි දෙක තුනකුත් පාන් භාගයකුත් තිබුණි.(මේ අපූරු සහෝදරත්වය ගැන මා අනිවාර්යෙන්ම ලිවිය යුතුය. එහෙත් එයට තව කල් තිබේ).මගින් නැගගත් බසයකින් අප අදාළ කඩයට ගොඩ වැදුනෙමු.එය ලොරි රථ රියදුරන් වෙනුවෙන්ම වෙන් වූවකි.වෙලද සැලට අවම වශයෙන් වසර හැට හැත්තෑවක් බව අප එහි හිමිකරුගෙන් දැන ගතිමු(එයි වසර සියයකටත් වඩා පැරණි වංගෙඩියක්ද තිබූ බව මට යම්තමින් මතකය).දුර ගෙවා ආවාට එහි කෑම හොදය.බඩ පුරා කෑ අප කිසිවක් නොදන්නා ලෙස නැවත් නේවාසිකාගාරයට පැමිණුනෙමු.(පැමිණි පසු අප තවත් සිද්ධියක් දැන ගතිමු අපේ නඩේ සිටි අයෙක් කැලේ පනිද්දී මාට්ටු වී තිබීමය මෑතක් වන තුරු ඔහුට ‘උතුමාණනි‘ යැයි කියා දැකපු තැන සැලියුට් ගසන ස්වභාවයක් තිබුණි එයත් තවත් කතාවකි) .එදින ඈත් සමග ගතවූ කාලය මට නිමේශයකි.සාපේක්ෂතාවාදය පිලිබද අයින්සටයින් මහතාගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනය මට මතක් වෙයි.
“මහත්මයා කරුණාකර සාපේකෂතාවාදය සරලව කියන්න පුලුවන්ද“
“ඔබ තරුණියක් සමග පැයක් පෙම්බස් දොඩවන විට එය ඔබට දැනෙන්නේ විනාඩි කීපයක් විදියට, ඒත් ඔබ රත්වූ පෝරණුවක විනාඩියක් වාඩිවී සිටින විට එය ඔබට දැනෙනුයේ පැයක් ලෙසය “ එතුමා පිළිතුරු දුනි. ෴
Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.