Saturday, October 22, 2011

පසුවදන.....

මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය.

නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නොව තම කුළුදුල් ගීතයට සලරූ පෙළක්ද මේ වන විට සෑදී ඇත. ගීතය මෙන්ම සලරූ පෙළද අගය කළ යුත්තේය.

එහි ආරම්භයේ වදන් පෙළ මේසේය......

They are differently abled.. Not disabled


Friday, October 21, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්….(අවසන් කොටස)


මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි.

දූපත සැලකිය යුතු මට්ටමක දිගින් යුතු විය. එය පළලින් අඩුවූ දිගින් වැඩි දූපතකි.

“අඩේ මං හිතුවේ නිකං මේක ගස් වලින් පිරිල කොලපාටට තියෙන එකක් කියලනේ!!“
“හරියට රොබින්සන් අන්දරේ වගේ“
කැවුමා පැවසීය.

බෝට්ටුවෙන් බසින විට අප මධ්‍යහන 12 පසුවී හමාරය. දැඩි රස්නයක් දූපතේ ඇත. බැලූ බැලූ හැම තැනම ඇත්තේ පොල් අතු ගෙවල්ය(කරවල වාඩි) .
“මේකේ පවුල් 3000 විතර ඉන්නවලු බං“
නඩේ එකෙක් පැවසීය.(මේ හෙන්රි ආතා හෝ අබිලිං වන්නට ඉඩ ඇත)
ලොකයා අප වාඩි අතරින් රැගෙන යන අතර තුර සමහරෙක් අප දෙස සැකමුසු බැල්මක් හෙලන බව අප දුටුවෙමු.වෙලාවකට මෙන් අප එන තුරු ඔහුගේ බාප්පා මග බලා ගෙන සිටියේය.
බැලූ බැල්මට කම්කරුවෙකුගේ පෙනුම ගත් ඔහු සැබෑවටම හොද මිනිසෙකි. ආගන්තුක සත්කාර අතින් කිසිවෙකුට දෙවැනි වන්නේ නොමැත. අප පසුව දැන ගත් පරිදි බාප්පා පෙනුමෙන් එසේ වූවාට(දූපතේ කවුරුත් සිටින්නේ එලෙසය).ඉහල අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු බවය.ඒ බැව් ඔහුත් සමග කතා කරන විට අප ශපථ කර ගත්තෙමු.
බාප්පා අප වෙනුවෙන් ම දවල්ට මාලුන් වර්ග කිහිපයක් හා කකුළුවන් විශාල ප්‍රමාණයක් වෙන් කොට තබා සිටියේය.
HPIM0205
HPIM0209

උයන නඩේ!!!

දැන් එළැඹ ඇත්තේ මේ මාලුන් හා අපි ගෙනා එළවලු කිහිපයක් සකසා ගැනීමය. ලොකයාත් හෙන්රි ආතාත් ,මාත් ,මණ්ඩුකත්,ඕදිරිසුත් ඒ අතර විය. ලොකයා මාලු වර්ග පිළිබඳ හසල දැනුමක් තිබූ අයෙකි. ඉතා දක්ෂ ලෙස ඔහු ඒවා පිසුවේය. නඩේ දෙදෙනෙක් වෙජිටේරියන් විය.(එක් අයෙක් නම් මට සැක සහිතය).
“දැං හදපංකෝ කෑම ජාති දෙකක්!!“ ලොකයා නොරිස්සුම් ස්වරයෙන් පවසයි.
වාඩියේ වලං මුට්ටි අප 11 දෙනාට එක වර පිසීමට ප්‍රමාණවත් නොවූ හෙයින් අපට බත් දෙපාරකට පිසීමට සිදු විය. අප හැඩල්ලන් හා හුරුල්ලන් තෙලින් බැද,කිරට හා මිරිසට පිස ගත්තෙමු. මා ජීවිතයේ පලමු වතාවට කකුළුවන් ශුද්ධ කරන අයුරු ලොකයාගෙන් ඉගෙන ගත්තෙමි. එළවලු ලෙස ගෝවා මැල්ලුමක් සාදා ගත්තෙමු.

HPIM0217
HPIM0216

දැඩි අව් රශ්මිය අපට ඔරොත්තු නොදුන් හෙයින් අප සවස් වන තෙක් වාඩියේ සිටියෙමු.
“ඔයගොල්ලන්ට වෙන හෝටලයක් බැලුවේ“ බාප්පා පැවසීය.
“හැබැයි පොඩ්ඩක් ඒක අස් කරන්න වෙයි“
wadiya
හවස් වරුවේ අප වාඩිය සකස් කල ගත්තෙමු. දූපතේ ජලය ලබාගන්නේ අඩි දෙකක් තුනක් යටට වලක් කැණිමෙන්ය.මේ ජලය අධික කිවුල් භාවයක් ඇත.(වැස්ස ලැබෙන තෙක් එසේය) එනිසා බාප්පා කල් තියාම අප වෙනුවෙන් වතුර බූලි කිහිපයක් බෝට්ටුව මගින් ගොඩබිමෙන් ගෙන් වා ගෙන තිබිණ.(වතුර බූලියක් සදහා රු 80.00 අය කරයි)
දූපතේ එහා පැත්තේ වෙරළ වෙත් යාමට මට නොනිමි ආශාවක් විය. හවස් වරුවේ මා ඒ පැත්ත වෙත නසියා ත් සමග ගියෙමි. වෙරල අතිශයින්ම පිරිසුදුය.පැය ගණනක් එතැන සිටිය හැකි තරම් එය සුන්දරය.
HPIM0299
අප සියලු දෙනාම ඉර අවරට යන තෙක්ම එහි විනෝද වූයෙමු.HPIM0308
HPIM0296

පෙර සදහන් කල ලිං සොයා අප හවස් වරුවේ දූපතේ එහා කෙළවරට ගියෙමු. පළමු වරට කිවුල් ගතියේ තරම දැන ගතතේ අපි එතැනදීය. නා ගැනීම නම් තරමක් දුෂ්කර කටයුත්තකි.
අප කලින් පිස තිබූ වෑංජන සමගම රෑටත් ආහාර ගත්තෙමු. ගමන් විඩාවටද කොහෙදෝ අප සියල්ලන්නටම ඉක්මනින් නින්ද ගොස්ය.

හෙන්රි ආතාගේ වැල්ලේ වික්‍රමය

පසු දින උදෑසනම අප අවදි වීමු. ඉර මුදුන් වීමට මත්තෙන් අපට උයන වැඩ අවසන් කොට දූපතේ අනෙකුත් දෑ පිරික්සීමට සිතා ගත්තෙමු. උදෑසන නම් ඇත්තේ සුවදායක පරිසරයකි. නමුත් ශාරීරක සුවතාව උදෙසා නඩේ බොහෝ අය වැසිකිලි සොයා යන්නට විය.
“මචං වැල්ලට තමයි අත අරින්න තියෙන්නේ“ ලොකයා පැවසීය.
ඇත්තටම දූපතේ වැසිකිළි පහසුකම් නොමැත. බොහෝ දෙනා වතුර බාල්දියකුත් රැගෙන වැල්ලට යන අයුරු නිරීක්ෂනය කොට “වැඩේ සිද්ධ කරන විදිය “ දැන ගැනීමට එකෙකුට අවශ්‍ය විය. කෙසේ වූවත් දූපතේ තැන් තැන් වල තිබූ වේලුන් ගොන් බෙටි වැනිදෑ මිනිස් මළ පහ බව අපට පසුව වැටහී ගියේය. (දැඩි අව්රශ්මිය නිසා එසේ සිදුවේ.)
අප සියලු දෙනාටම මෙය නුහුරුය. හෙන්රි ආතාත් “කාර්‍යය “ සිදු කොට මුහුදු රලින් සෝදාගැනීමට වීරයෙකු මෙන් මුහුදු රළට පිටුපා වැල්ලේ හිද ගත්තේය. කරුමයකට මෙන් හිසටත් උඩින් ආ රැල්ලකින් හෙන්රි ආතා තෙමී ගියේය.
දූපතේ ස්ථීර ගොඩ නැගිලි ලෙස ඇත්තේ නාවික හමුදා කදවුරත් ,පාසලත් ,පොලීසියත් කතෝලික දේවස්තාන දෙකත් පමණි.(දූපතේ බහුතරයම උග්‍ර කතෝලික ලබ්ධිකයෝය)
බෝට්ටුවට නැවත පිටවීමට පෙර අප දේවස්තානයද දැක බලා ගත්තෙමු.   හවස එකට පමණ අප නැවතත් ගොඩබිම වෙත පැමිණීමට පටන් ගත්තෙමු.දැන් නැවතත් අප සුපුරුදු කාර්‍ය බහුල ලෝකයට සම්බන්ධ වන්නෙමු. දූපතේදී ඒ කිසිවක් ම නොමැත. ජීවිතය කටුක වූවද සරළය  දුර්ලභ චාරිකාවක මතක සටහන් මෙසේ අවසන් වන්නේය. ෴

ප.ලි – ඡායාරූප කිසිදු පැකිලීමකින් තොරව ලබා දුන් මණ්ඩුකටත් , කැවූමාටත් , ගමන සූදානම් කල ලොකයාටත් ඔහුගේ මා පියන්ටත්, බාප්පාටත් මගේ කෘතඥ පූර්වක ස්තූතිය හිමිවේ.

Wednesday, October 12, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස)

කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය.

අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය.

HPIM0119

අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි කිහිපයක් ලෙසය.නමුත් එය වැරදී ගියේ අප ක්‍රමයෙන් කුඩා වූ ගොඩබිම නොපෙනී ගොස් පැයකට ආසන්න කාලයක් ගෙවී ඇතත් තවමත් බෝට්ටුව සුපුරුදු ලැසි ගමනේ යන අයුරු වැටහී ගියාවෙන් පසුවය.HPIM0112

දැන් අප නුපුරුදු අත්දැකීමක් විදගනිමින් සිටියෙමු.ලොකයා නම් පැත්තකට වී වාඩිගෙන සිටිනු මා දැක්කෙමි.

අපි හෙට යනවා  බත්තලංගුණ්ඩුව කියල දිහාවකට…..!!!

අපේ නඩයේ සිටි අබිලිං පවුලේ එකම දරුවාය. ඒනයින්ම ඔහුට ලැබෙන සැලකිල්ල ද අනවශ්‍ය පරිස්සමද පසුකලෙක ඔහුට හිසරදයක් ව පැවතිණ.අබිලිං ගෙදරින් පැමිණ ඇත්තේ ලොකයාගේ ගෙදර එන බව මිසක් දූපතකට යන බවක් නොකියාය. අප ගමන පිටත් වීමට පෙර දිනයේ ඔහු තම මවට දුර ඇමතුමක් ගත්තේය.

“අම්මේ මං ආවා හලාවතට“

“ආ අවාද? දැන් ද ආවේ?“

“ඔව්“

“හෙට මොනාද කරන්නේ?“

“හෙට අපි යනවා බත්තලංගුණ්ඩුව කියල දිහාවකට!!!“ අබිලිං පැවසීය

“මොකක් ?“

“ඒක දූපතක් නේද?“

“ඔව් ඒක දූපතක් වෙන්නත් පුලුවන්!!!“

එහා කොණින් දෝස්මුරයක් ඇසේ…

“අම්මේ පූසා එහෙම සනීපෙන්ද?“

“ඌ බත් එහෙම කෑවද?“

අබිලිං දැන් කතාව මගහැරීමට යත්න දරනු දුටු මා එතැනින් නික්ම ගියෙමි.(එහා කොණේ දෙබස් ඇසීමට තරම් මගේ ශ්‍රවණ ශක්තිය තියුණු වීම ගැන මා දෙවියන්ට ස්තූති වන්නෙමි)

අබිලිං නුත් මාත් මණ්ඩුකත් හැරෙන්නට අනෙකුන් සිටියේ බෝට්ටුව මැද හා දෙපසය. අපි තිදෙන සිටියේ එහි ඉදිරිපසය. පැය එකහමාරකට පසු කැවුමා ට නිහඩතාවය එපා වී සින්දුවක් මුමුණන්ට විය. එපමණක්දHPIM0172 නොව නඩේ බොහෝ අය බෝට්ටුවේ ඉදගෙන “ඕම්බි “ ගසන්නට විය.(මේ සදහා හෙන්රි ආතා කාඩ් කූට්ටම් දෙකක් කලින්ම සකසා ගෙන සිටියේය)

HPIM0120බෝට්ටුව ජල කද දෙබෑ කරගෙන යන මගට දෙපසින් මාලුන් රැලක් වතුරින් ඉහලට එසැවී නැවත ජලයේ සැගවී යයි.

“අර!!! අර!!!“

හෙන්රි ආතා කෑමොර දෙයි.

අප යන අතර තුර කුඩා දූපත් කිහිපයක් අප පසු කලේය. (මුලින් අප සිතුවේ එම දූපත් වලටත් බෝට්ටුව යාත්‍රා කරනු ඇතැයි කියාය. නැත!!! මෙය බත්තලංගුණ්ඩුවට “එක්ස්ප්‍රස් “ බෝට්ටුවකි.)

HPIM0127

 

බෝට්ටුව යාත්‍රා කරන දෙසට සමාන්තරව දකුණු පසින් අපට තවත් ගොඩබිමක් දක්නට ලැබිණ. ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමය.(මෙය බත්තලංගුණ්ඩුවටද හොදින් පෙනේ)

HPIM0144

අන්න ටවර් එකක්!!!

දැන් අප පැය 3කට ආසන්න කාලයක් බෝට්ටුවේය.අතැති සියලු දුරබනුවල සංඥා සලකුණු සැගවී ගොස්ය. නඩේ සමහර පෙම්වතුන් “සැනසීමටත්“ “දුක්වීමටත් “ පටන් ගනු මා ඔවුන්ගේ මුහුණු වලින් තේරුම් ගතිමි.

“අන්න ටවර් එකක්“

සුමනේ පැවසීය.

HPIM0196

“ටවර් එකක් පේනවද ?“ “එහෙනම් ඒක තමයි බත්තලංගුණ්ඩුව“ නඩේ ගුරා පිළිවදන් සැපයීය.

දැන් අප බත්තලංගුණ්ඩුව පේන තෙක් මානයේය. මේ වන විට අප ගොඩබිමින් කිලෝ මීටර 15 කට ආසන්න දුරකින් එපිටය. කොටින්ම කියතොත් දැන් අප ලංකාවෙන් එපිටය!!!

බෝට්ටුව කෙමෙන් කෙමෙන් බත්තලංගුණ්ඩු වැල්ල සිප ගන්නට තැත් කලාය. දැන් බෝට්ටුව තම ගමන නිමා කොට හමාරය, අප කලිසම් දණිහට කෙටි කර ගෙන බෝට්ටුවෙන් පැන ගතිමු.

 

බත්තලංගුණ්ඩුවේ ජීවිතය ඊළග කොටසින්…

Sunday, October 9, 2011

බත්තලංගුණ්ඩුවේ දවසක්….(පළමු කොටස)

 

සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්‍රදායය.(නුමුත්  මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්‍රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය.

කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ගත් හා  අත් විදි දෑ අප අසාවෙන් අසා සිටියෙමු.

 

“ එහෙනම් මචං මේ පාර අපි එහෙ යමු“

“හරි මම වැඩේ සෙට් කරන්නම්“(එතැන් පටන් ලොකයා සියල්ල භාර ගත්තේය)

“එහෙනම් මචං මේපාර Exam ඉවර වෙලා අපි යමු “

 

මේ කතා බහට මාසයක් දෙකක් ගතවන්නට ඇත. විභාග සමය නිසාවෙන් අප අධික මානසික ආතතියකින් පෙළී සිටියෙමු.කොටින්ම කියතොත් මට මේ ගමන ගැන කිසිදු මතකයක් තිබුණේ නැත.

කෙසේ හෝ මාද මේ ගමනට එකතු විය.

 

සරසවියෙන් ලොකයාගේ නිවස බලා…..

විභාගය අවසන් වූ දිනයේම අප “ලොකයා“ ගේ නිවෙස්(හලාවත) බලා ඇදුනෙමු. (නඩයේ සංඛ්‍යාව 11 කි) මෙතැන් පටන් නඩයේ ගුරා ලොකයාය.මුහුදු කරයේ දැනුම අතින් ඔහු අප කවරකුටත් වඩා සන්නද්ධය.

පසුදින උදෑසනම අප කල්පිටිය වෙත ධාවනය වන බස්රථය සොයාගතිමු.

map1

ලංකාවෙන් පිටත් වීම…..

පෙර සැලසුම් කල පරිදි අප දිනකට සරිලන ඉවුම් පිහුම් වලට අවශ්‍ය හාල් පොල් එළවලු ,සෝයා මීට්, කුලු බඩු ආදිය රැගෙන ආවෙමු.පැය කිහිපයකට පසු අප කල්පිටිය ජැටියේය. ප්‍රමාණයෙන් විශාල බෝට්ටුවක් ඒ අසල නවතා තිබිණ.

“මචං මේකද බෝට්ටුව“

“ඔව් ඔව් ඕක තමා , අද්දන්න කලින් අපි මොනාහරි බඩට දාගමු“

එම බස්රථය පැමිණෙන තෙක් බෝට්ටුව දියත් නොකරන බව අප පසුව දැනගතිමු.වරායේ ඇති කැන්ටිමෙන් අප උදේ ආහාරය ගත්තෙමු.

කිඹුලා බනිස් සහ තවත් පිටි ආහාර කිහිපයක් එහි තිබිණ.

පෝන් චාජ් විස්සයි!!!

කැන්ටිමේ ඇති පුවරුව අප මවිත කලේය. ජංගම දුරබනුවක් නැවත අරෝපණය කිරීමට කැන්ටින් හිමියා රු 20 ක් අය කරයි.

“ඔය මචං High Voltage එකක් දීලා විනාඩි 5න් 10 න් චාජ් කරන සීන් එක“

“කැවුමා“ මා සමග පැවසීය.

HPIM0101බෝට්ටුවට දියත් වන්නේ 8.30 –8.45 අතර වූ වේලාවකය. ඊට පෙර අප එතැන සිටින නාවික හමුදා නිලධාරියා වෙත අපගේ ජාතික හැදුනුම් පත පෙන්විය යුතු විය.ඔහු එම විස්තර සටහන්  කර ගන්නේය.

බෝට්ටුව එක් අයෙකු සදහා රු 200 ක් අය කරයි. පැය 3කට ආසන්න කාලයක් අප බෝට්ටුවේ යාත්‍රා කලෙමු. (කුඩා බෝට්ටු මීට වඩා අඩු කාලයකින් යාත්‍රා කලද ඒ වෙනුවෙන් වැය කල යුතු මුදල තරමක් වැඩිය)

බෝට්ටුවට විවිධ කලමනා පුරවන්නට විය. ඒ අතර බීම බෝතල්, හාල් පොල්. තිරිගු පිටි බහුල විය. මීට අමතරව වතුර බූලි ද විය(වතුර බූලියක් සදහා රු 80 ක් අය කරන බව පසුව අපට දැන ගන්නට ලැබිණ…)

ටික වේලාවකට පසු බෝට්ටුව කෙමෙන් කෙමෙන් ජැටියෙන් ඈත් වන්නට විය.(ඒ වනවිට වේලාව උදේ 8.45 වන්නට ඇත)

 

දූපතට සේන්දු වීම ඇතුලු ඉතිරි අත්දැකීම් ගොන්න හෙට දිනයේ බලාපොරොත්තු වන්න….෴

Friday, September 30, 2011

මිෂන් කොලොම්පූර්…..

 

colombo-2

සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා “ගැටයා “ යැයි කියන්නෙමි. ගැටයා වනාහි තරුණයෙක් ලෙස සැලකිය නොයුතු බව මගේ හැඟීමය. මන්ද ඔහු නව යොවුන් වියේ පසුවන්නෙක් බැවිනි.(ඒ නිසාවෙනි මා මොහුට ගැටයා යැයි කියන්නේ )

උසස් පෙලින් පසු බහුතර විභාග අපේක්ෂකයන් ගේ මීළග නැවතුම වනාහි . කොළඹ තදාසන්න පෙදෙස්ය. මෙයට හේතුව වන්නේ සමහරුන් දෙවැනි,තුන්වැනි වතාවන් සදහා විභාගයට සූදානම් වීමට අවැසි උපකාරක පන්ති සොයායෑමය…..

ගැටයාටද මේ කරුණ සදහා යොමුවීමට සිත්විය.(ගැටයා මගේ ඥාතී සොහොයුරෙකි) ඒ දෙවැනි හෝ තුන් වැනි වතාවට උසස් පෙළට යොමු වීමට නොව, “කෝස් “ එකක් කිරීමටය.

මා අහම්බෙන් ඒ නිවසට යන විට නිවැසියන් (ඔහුගේ මා පියන් ) දැඩි සිත් වේදනාවකින් පසු වන බව මා දැනගතිමි. එයට හේතුව ගැටයා ගේ මේ මුරණ්ඩු හැසිරීමය.

“බලන්න පුතා , මේ මනුස්සායට Course එකක් කරන්න කොළඹ යන්න ඕනෙලු“

“මොකක්ද කරන්න යන්නේ“ මා ඇසීමි

“QS Course එකක් “

“ඒ අයගේ යාලුවෝත් ඔක්කොම ඒක කරනවලු“

“තව රස්සාවක් කරන්න ඕනෙලු“

“ඒ කියන්නේ මල්ලිට විභාගේ ෂුවර් නැත්ද?“

“Results එනකම් ඉදල කීරණය කලොත් නේද හොද?“

ප්‍රමාණ සමීක්ෂනය වැනි පාඨමාලාවන් වෙත යොමුවන්නේ වෘත්තීමය මං පෙත් විවර කරගැනීමට බැව් මා පෙර සිටම දැන ගෙන සිටියෙමි. නුමුත් මේ කොලුවා තමන්ගේ යාලුවන් ගේ කීම හිසේ තබා , තම දෙමව් පියන් දෙවැනි කොට සිතීම මට රිදුම් දෙන්නක් විය.

උසස් පෙලින් පසු ප්‍රතිපල නිකුත් වීමට උපරිම මාස 3 ට ආසන්න කාලයක් ගතවෙයි. මේ කාලය තුලදී කල යුතු වන්නේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම,පරිගණක දැනුම හා කුඩා විවේකයක් ගැනීම බව මා තරයේ ගැටයාට පැවසීමි. නැතහොත් වන්නේ සරසවි ප්‍රෙව්ෂයට සුදුසුකම් ලැබුවහොත් කාලයත් මුදලුත් අපතේ යන බව මා නැවත වාරයක් ඔහුට අවධාරණය කලෙමි.

“මල්ලී…. මිනිස්සූ කැම්පස් ගිහිල්ලා , A/L කරලා එහෙමත් නැත්තම් මොකක් හරි කරලා අන්තිමට වැටෙන්නේ කොහොටද?“

“සමාජෙට“ ඔහු එක් වනම පැවසීය

“හි හි සමාජේ කියල එකක් නෑ මල්ලී… ඒක කල්පිතයක් විතරයි“

“අපි ඔක්කොමල වැටෙන්නේ පාරට“

“එතන ඉදන් තමයි ගේම් එක ගහන්න තියෙන්නේ….“

“මල්ලී අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න….“

“ඇයි ආයතනයක් සේවකයෝ ගන්නේ….?“

“ආයතනේ තියෙන ප්‍රශ්න විසදන්න..“

“ඇයි ලෙඩෙක් දොස්තර කෙනෙක් හොයාගෙන යන්නේ…“

“දොස්තර කරන්නේ ලෙඩාගේ ප්‍රශ්නේ විසදන එක…“

“මේක තමයි මල්ලි ඇත්ත.“

“ඔයා මිනිස්සුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් විසදන්න දන්නවනම් ඔයා ගේම් එක දිනනව.“

“දැන් තියෙන ප්‍රශනේ ඔයා ප්‍රශ්න විසදන්න දන්නවද කියල“

“ ඇත්තම කිව්වොත් ඔයා ඒව දන්නේ නෑ“

“නෑ අයියේ මම අම්මල තාත්තලට කරදර කරන්නේ නැතුව Part Time Job එකක් කරනව කොළඹ ගිහින්“

“හරි උදාහරණයක් බලමු මල්ලී,ඔයා කොළඹ යන්න ඕනේ මෙහේ අවශ්‍ය කරන පහසුකම් නැත්තම් නේ. දැන් බලන්න ඔයගේ Course එකට රු 20000  ක් නම් ,ඔයාට වියදමට යනවා ඔය වගේ ම ගානක් එතකොට වෙන්නේ ඔයාට ගෙදරින් ආයෙත් සල්ලි ඉල්ලන්න වෙන එක“

“ඉස්සෙල්ලා සල්ලි හොයන්න යන්න එපා. සල්ලි වලට රහ වැටුනොත් ඔයා ඔයාගේ ඉගෙනීම කඩා කප්පල් කර ගන්නවා“

“ඉස්සෙල්ලා තමන්ගේ වටිනාකම වැඩි කරගන්න“

මෑතකදී ඔහුගේ මව මට මුණගැසින. ඈ පැවසූ අන්දමට දැන් ඔහුගේ මුරණ්ඩු කම නැතිව ගොස්ය. නගරයේ පාඨමාලා කිහිපයකටම ඔහු සම්බන්ධ වී ඇත. මීට අමතරව ඔහු රියදුරු බලපත සදහාද පුහුණු වන්නේය.

මිෂන් කොලොම්පූර් අවසන් වන්නේ එලෙසය.෴

Monday, August 1, 2011

සන්දර්භය.......

දැනගනිල්ලා....
උඹ මොකද බලන්නේ,
අපි දන්නවා උඹ මේක දන්නව කියල.
මේ කියන්නේ උඹට නෙවෙයි.
ඔව් මේ කියන්නේ අනිත් එවුන්ට..

 

අනිත් එවුන්ට ඉරිසියා කරල මේ ලෝකේ හදන්නත් බෑ...
තමන්ට හැදෙන්නත් බෑ...
උඹලා එහෙම හිතාගෙන හිටියට...

 

මේ ලෝකේ ඉන්න හැම එකාටම අනන්‍ය වෙච්ච රාජකාරියක් තියෙනව මැරෙන්න කලින් ඉවර කරන්න.
ඒක උඹල අදුරගනිල්ලා!!!
ඒ වෙනුවෙන් නැහියල්ලා...

 

කුහක කමට හිටියට උඹලට කවදාවත් ඒ වැඩේ කරන්න බෑ...

 

අපි කවුද?… ඒක අහන්න උඹ කවුද?
ඉස්සෙල්ලා උඹ කවුද කියල අදුරගනින්!!!

 

මේවා කරන්න සමාජවාදේ ඕනේ නෑ,
ප්‍රජාතන්ත්‍රවාදේ ඕනෙත් නෑ,
සහජීවනේ තිබ්බොත් හොදටම ඇති!!!
ජය වේවා!!!

Monday, June 27, 2011

කණුව…

 

fail

තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි.

මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි වීමි.

උසස් පෙළට ගණිතය හදාරන්න යැයි කිසිවෙක් මට බල නොකලෝය,කලා අංශයෙන් නොයන්න යැයි කී අයෙක්ද නොවිණ. තාත්තාගේ හොදම මිතුරෙකුගේ දියණියක ඇමෙරිකාවේ “නාසා “ ආයතනය සමග ගණුදෙනු කරන බවත් ඈට ඔවුන් විටින් විට විවිධ පත්‍රිකා පොත් ආදිය එවන බවත් තාත්තා නිතරම කියයි.ඒ කාලයේදී නාසා ආයතනයේ සේවය කරන ආචාර්ය සරත් ගුණපාලයන් ගැනද විටින් ඇසෙන්නට වීම මටත් “නාසා“ ආයතනයට යෑමේ අංහිසක ආශාවක හවුල් කරුවෝ වෙති.

ඒ ගණිත අංශය තෝරාගැනීමට හේතු වූ පළමු වැන්නයි.

දෙවැන්න වනුයේ පරිගණකයක් “ඇල්ලීමේ“ වරදට එකල මටත් මගේ මවටත් මගේ ම ඥාතීන් පිරිසක් එකල බැණ වැදීමයි.එපමණක් නොව මා පිළිකෙව් කරන්නටද විය.

“කොහොමද කොම්පියුටරයක් කැඩෙන්නේ….?“

මේ එකල මගේ සිතේ දෝංකාර දුන් ප්‍රබල පැනයකි.

“ඕක කැඩෙන විදිහ ඉගෙන ගන්න ඕනේ…“

ඉදින් ඒ පිළිබද යම්තමින් හෝඩුවාවල් සොයා යන විට ඒ සදහා මා සරසවි යේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ උපාධි පාඨමාලවකට යා යුතු බව දුන් උපදෙස විය.

එකල මගේ කුඩා මනසට උපාධිය කළුද සුදු ද යන්න ගැන කිසිදු අදහසක් නොමැති විය.

“මේ හැම මගුලටම MATHS කරන්න වෙනවානේ…“

“එහෙනම් මාත් කරනව MATHS…“

කෙමෙන් කෙමෙන් තාරකා විද්‍යාවට තිබූ ආශාව පරයමින් පරිගණක විද්‍යාවට තිබූ ආශාව තීව්ර වන්නට විය.

“පරිගණකය නැමැති චවනය ඇති ඕනෑම දෙයක් කියැවීමේ නොසන්සිදෙන ආශාව තව දුරටත් මා හරහා ගමන් කරන්නට විය“

පරිඝණක සඟරාව ඒ වනවිට තමන් ගේ ගමන් මගේ සැලකිය යුතු ගමන් මගක් ගොස් හමාරය(මා එහි ආරම්භක අවධියේ පාඨකයෙක්මි)

කෙසේ හෝ මා සාමාන්‍ය පෙලත් අවසන් කොට ගණිත අංශය තෝරා ගත්තෙමි.පාසලේ ගණිත අංශය තරමක ප්‍රමිතයකින් යුත් පෙදෙසක් ලෙස එදත් අදත් පවතින බව නොකියාම බැරිය.ළමුන් ගේ සිට ගුරුවරුන් දක්වාම එහි කොටස් කරුවන්ය.

මා කිසිදු විභාගයකට(උසස් පෙළට හැරෙන්නට) අයාසයකින් පාඩම් නොකල අයෙක්මි.නමුත් මා සැලකිය යුතු මට්ටකම අධයාපනික “කීර්ති නාමයක් “ පාසල තුල එකල හිමි කර ගෙන සිටීමි.මේ කීර්ති නාමය මා තුල “අධි තක්සේරුව “ නැමැති පිළිලයේ මූල කාරකය බව මට පසුව පසක් විය.

උසස් පෙළට ත් මගේ මිත්‍රයන් සියලු දෙනාම පාහේ (මිතුරු කැල 6-7 දෙනෙකුට සීමා වූ නඩයකි)තෝරාගත්තේ ගණිත අංශයය.

පාසලේ විශය මාලාව පටන් ගැනීමටත් පෙර අප උපකාරක පන්ති වලට සහභාගී වූයෙමු.අනෙකුන් ඉතා ශුර ලෙස ගණිත ගැටළු විසදන විට මගේ මනස බොහෝ වෙලාවට තිබුණේ පරිඝණක ක්‍රමලේඛනය තුලය.(මේ සියලු දෙනාම පාහේ අද වනවිට මැවිසුරුවන්ය).

උසස් පෙල විභාගයක් මෙලසම එදවසද මා හට මුණ ගැසුණි.පිළිතුරු ලිව්වාට මා තුල චකිතයක් ඇති නොවුණාම නොවේ.

මාස කිහිපයකට පසු විභාග ප්‍රතිඵල නිකුත් විය.උදේම නිවසේ දුරකථනය නාද විය.

“මචං බැලුවද Results? “

“නෑ බං “

“උඹේ කොහොමද? “

“A 3 යි බං මම Second, ****** District First වෙලා“

ඒ මගේ අතිජාත මිතරෙකි(අදටද) ,දිස්ත්‍රික්කයේ පළමුවැන්නා මගේ පන්තියේ අල්ලපු මේසයේ සිටිය මිතුරායි.

පසුව මගේ ප්‍රතිඵල ද මට දැන ගන්නට හැකි විය.එය සම්මාන සාමාර්ථකයකුත්,සාමාන්‍ය සාමාර්තයකුත් ,“කණුවකුත් “ ය

ජීවිතයේ පළමු වතාවට මා පරාජයක වේදනාව අත්වින්දෙමි.ප්‍රියයන්ගේ වියෝවීමේ සංසිද්ධිය මා සිතින් මවා ගත්තෙමි.

“මොර අත්තට“ ගැසුවාක් මෙන් මගේ සියලු සමීප මිතුරන් මගෙන් දුරස් වී(කායිකව) මින් පෙර නොදුටු එහෙත් අසා ඇති සරසවි වෙත පියමැන්නෝය…

පුදුමයකට මෙන් අම්මාත් තාත්තාත් කිසිවක් නොකීම මට අදහගත නොහැක්කක් විය

“උඹට උනේ අර ඉබ්බගෙයි හාවගෙයි කතාවේ හාවට වෙච්ච වැඩේ“

දිනක් තාත්තා මා සමඟ පැවසීය.

පළමු වතාවට මට වැරදී ගොස් ඇති බව මට පසක් විය…

සියල්ල අත් හැර මා නැවතත් දෙවැනි වතාවට මුහුණ දීමට සූදානම් වීය.මෙයින් පසු කතාව සම්පූර්ණයෙන්ම වෙනස්ය,නුමුත් එය වෙනමම කතාවකි.

මා එහිදී එල්බ ගත් නිගමන කිහිපයක් මට අදටද සාර්ථකත්වයේ දොරගුළු විවර කර දෙන්නට සමත් විය.෴

1.උසස් පෙළ විභාගය /කවර තරඟ විභාගයක් තමන්ගේ ප්‍රතිවාදීයා ලෙස සිතිය යුත්තේය.මෙය සුකුමාල තරුණියක් සමග ගත කෙරන කාලයක් නොව සම්පූර්ණයෙන්ම යුද්ධයකි.

2.කිසිම විටෙක තමාව අධිතක්සේරු කරන්නට නොයන්න.

3.යුද්ධයකට ලැහැස්ති වන සේම මෙහිදී ද තමන් දැනුමෙන් සන්නද්ධ විය යුත්තේය.

4.සන්නද්ධ වූවා ට පමණක් සෑහෙන්නේ නැත.දැනුම භාවිතා කොට ගැටළු විසදීමට පුරුදු පුහුණු විය යුත්තේය.(හරියටම ආයුධ හැසිරවීමට පුහුණු වන ලෙස)

5.කාලය රන් හා සමාන නොවන බවත් කාලය ඊටත් වඩා වටින බවත්, යන කරුණුය.

 

ප.ලි:-මේ මගේ පළමු වර විභාගයේ අත්දැකීම්ය.දෙවන වර සමත් වීමත් සරසවියට ඇතුලත් වීමත් වෙනමම කතාවකි.එය මා මෙහි පසුවට සටහන් තබන්නෙමි'.

ප.ප.ලි:- උක්ත කරුණු ගෙන දැක්වූයේ කවරෙකුට හෝ උපකාර වේ යැයි සිතුණු නිසාවෙනි.උසස් පෙළට ඉදිරිපත් වෙන සියලු දෙනාටම ජය!!!

Thursday, June 2, 2011

අපට තව කරන්න තිබ්බා…….

worry

සෑහෙන කාලයකට පසුව නැවතත් මා බ්ලොග්කරණයෙහි යෙදෙන්නෙමි.පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටමක කාර්‍ය බහුලත්වය ඒ සදහා හේතුවන්නට ඇත.

සාමාන්‍ය යෙන් මෙලොව සිටින සෑම මිනිසෙක්ම පාහේ පසුතැවිල්ලකට මුහුණ දෙන බව මාගේ හැගීමය.එය ස්වභාවික වූත් අවිඥානීක වූත් සංසිද්ධියක් බව මා සිතන්නෙමි.පසුගිය කාලයේ මා සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘති කිහිපයක තනිවම හා කණ්ඩායම් වශයෙන් කටයුතු කලෙමි.

සරසවි කණ්ඩායම් ව්‍යාපෘති වලදී බොහෝ විට සිදුවන්නේ එක් අයෙක් හෝ දෙදෙනෙකු අන් අයගේ සියලු වැඩ කර අන් අයටත් ලකුණු උපයා දීමය.කොතරම් දක්ෂ නායකයෙක් වුවද මෙහිදී අසාර්ථක වන සම්භාවිතාව අතිශයින් ඉහළය.

මෙවන් ව්‍යාපෘති අවසානයේ සමහරුන් (වැඩ නොකළ) පවසන සුලභ වදනක් වදන් පෙලක් වනුයේ “අපට තව කරන්න තිබ්බා“ යන්නය.මේ ඔවුන් ඇත්තටම කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති “අඩපන වූ උනන්දුව “ පිටතට විදහා දක්වන අයුරු බව මට විටෙක සිතේ.

වරද කාගේද?

මෙහිදී වරද පැටවෙන මූලික අයවලුන් දෙදෙනෙකි.

1.පසුතැවිලි වන කණ්ඩායම් සාමාජිකයා

2.කණ්ඩායම් නායකයා

මෙහිදී කණ්ඩායම් නායකයා සතු වන උපක්‍රමශීලී භාවය මෙවන් අදහස් පිටතට නොපැමිණීමේ පළිහ වන්නේය.මෙය වෘත්තීය ජීවිතයට වඩා සරසවි ජීවිතයේදී අතිශයින් වැදගත් වන බව මා සිතන්නෙමි.මන්ද වෘත්තීමය ජීවිතයේදී පුද්ගලයෙකු(රැකියාවෙන් වුවද) ඉවත් කල හැකි වූවත් සරසවියේදී එසේ කල නොහැකි වන නිසාවෙනි.

නායකයා යනු තනි පුද්ගකයෙකු නොවන බව මා තදින් සිතන්නෙමි.සාර්ථක නායකයෙකු බිහිවන්නේ පුද්ගලයන් තිදෙනෙකුගේ සංකලනයකින් බව මා සිතන්නෙමි.

1.නායකත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා(Representer)

2.න්‍යායන් හා උපක්‍රම නිර්මාණය කරන පුද්ගලයා(Strategist)

3.තීරණ ක්‍රියාත්මක කරන පුද්ගලයා(Executor)

සමහර විට මේ ලක්ෂණ තුනම තනි පුද්ගලයෙකු සතුව කලාතුරකින් පැවතීමට ද ඉඩ ඇත.

ඉහතින් නැගෙන පසුතැවිල්ල සැගවුණු අභිප්‍රේරකයක් (Motivator) බව අත්දැකීමෙන්ම දැක ඇත්තෙමි.කල යුතුව ඇත්තේ  මේ උත්තේජීත පුද්ගලයන් නිවැරදිව හැසිරවීම පමණකි.෴

 

ප.ලි-මෑතකදී සිදුවුන කරුණක් අලලා සැකසුණ ලිපියකි.

ප.ප.ලි-වෙසක් කාලයේ මතකයට නැගුණු ලිපිය මෙහි මීලගට පලවෙන ලිපියයි.

Saturday, April 16, 2011

නරියා කන්දේ කාර් රේස්…..

foxhill

තවත් දිනක් උදාවී ඇත..
ටවුම පුරා අලුත් වාහන පිරී ඇත..

හැසිරේ සමහරෙක්..
අලුත් රටකට පැමිණි ලෙස..

1000 ට 2000 ට තිබූ…
කාමර අද 4000 කි

සැවොම පෙරුම් පුරා..
පයිනස් කොල වැටුණු…
ලිස්සන බිමේ…

වාඩි වීමට
යත්න දරමින්..

බලන නරියා කන්දේ..
“කාර් රේස්!!!“෴

Saturday, April 9, 2011

බටර් විස්කෝතුව (II)

මංගල්ලේ……….

weddingමේ මා ඉහත තේමාවට අනුව සටහන් තබන දෙවැනි ලිපියයි.(පලමු වැන්නට).සාමාන්‍යෙයන් අයෙක් විවාහ වන්නේ වයස අවු 18 න් ඉහලදීය.නුමුත් අසාමාන්‍යෙයන් වුව ද මා වෙසෙන පෙදෙසේ එය පරයා යමින් විවාහ වූ පිරිස අපමණය.

සාමාන්‍යෙයන් විවාහයකට සූදානම් වීමට නූතන ලෝකයේ සැලකිය යුතු කාලයක් අවැසි වෙයි.සියල්ලට ම ඉහලින් මතුවන්නේ පොටෝ ඇල්බමයයි.අවසානයේ සමස්ත විවාහයම සිදුවන්නේ ඡායාරූප ශීල්පියාට අවැසි ලෙසය…..

බ්‍රයිඩ් පොඩ්ඩක් පිටිපස්සට…

ගෘම් පොඩ්ඩක් ඉස්සරහට…

වන් ටූ ත්‍රී….

වන් ටූ ත්‍රී….

කියමින් දිගට හරහට පොටෝ අල්ලයි…….

මෙයට ඉඳුරාම වෙනස් වූ විවාහ ක්‍රමයක් මා අත්දැක ඇත්තෙමි.මේ ක්‍රමය බොහෝ විට නීති විරෝධී වීමට ද පුලුවන.සමහරෙක්ට ම්ලේච්ඡ වීමටද පුලුවන.නමුත් මෙයට මූල ගත කාරනාව සොයා යන විට මට සිතෙන්නේ මිනිසුන් සොබාදහමේ නීතිය (වර්ගයා බෝ කිරීම) කෙසේ හෝ ඉටුකරන බවය.

මෙහි විවාහ වීමට අවැසි වන්නේ සාමාන්‍ය පෙල ලිවීම පමණය(සමත් වීම පමණය).මා සමීක්ෂණයකට අනුව 90% කට වඩා සමාන්‍ය පෙල ගණිතය අසමත්ය.

එසේ ලිවීමෙන් පසුව එලෙඹෙන්නේ තරුණයන්ගේ මද කිපෙන වයසය.නොයෙකුත් දේ අත්හදා බලන ඔවුන් සමහරෙක් ගංජා වලටද හෙරෝයින් වලට ද හුරුවූ අවස්ථා එමටය.එයිනුත් ගංජා බාවීතයට හුරුවූ පිරිස තරමක් වැඩිය.(ඒ ගැන වෙනම ලිපියක ලියන්නෙමි).ඒ අතරේ තරුණයන්ට අඹුවක් සොයා ගැනීමේ වුවමනාව ඇතිවන්නේය.හා හා පුරා ඇරඹෙන මේ කතිකාවතට අනුබල දෙන්නේද ඔවුන්ගේ දෙමව්පියන්ය.එසේ නොවුනහොත් කොහෙන් හෝ කෙල්ලක් ගෙන විත් තමාට හිතවත් ගෙදරක දින දෙක තුනක් නැවතී සිට කිසිවක් නොසිදුවුණාක් මෙන් නිවෙස් බලා තම බිරිඳත් සමඟ පැමිණෙන්නේය…

දෙමව්පියන් සමග යන උදවිය අල්ලපු ගමේ හෝ බොහෝ පිටිසර දුෂ්කර පෙදෙසකින් තරුණියක් සරණ පාවා දීමට ද සැරසෙයි.ඇතැම් තරුණියන්ගේ වයස අවු 15-16 වන්නට ද ඉඩ ඇත.(මෑතකදී අවු 14 ක දැරියක් ද විවාහ සිටිනු මා දුටිමි)

“ඇයි දුව මෙහෙම ආවේ “
“මං දන්නෑ මාමා “

“තාත්තා කිව්වා පලයං කියල“

“ඉතිං මං ආවා“

මේ දිනක් පියා ඇසූ පැනයකට පිළිතුරු දුන් දැරියකගේ වදන්ය.විවාහය සැමරිමට මහ ලොකු දේවල් අවැසි නැත.අරක්කු බෝතල් දෙක තුනක් ,කන පුපුරා යන අන්දමට හඩ මෙහෙය විය හැකි ශබ්ද විකාශන යන්ත්‍රයක්,රතිඤ්ඤා පෙට්ටි දෙක තුනක් සහ සමාන්‍ය කෑම වේලක් තිබීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

මෙහි ඇති පුදුමාකාර දෙය ඉහත සදහන් කල කරුණු එකක් වත් නොවේ.මේ විවාහක පවුල් කෙසේ හෝ තම දිවි සරි කරගන්නා අයුරු බලා සිටීමෙනි.එක් අතකට ඔවුන් සාර්ථක යුග දිවියක් ගෙවන්නන්ද වෙති…෴

Sunday, March 20, 2011

ප්‍රවාදයන් අමරණීයය!!!

(Ideas are Bulletproof!!!)

ideas_are_bulletproof_by_aeternax

 

මිනිසුන් ලොව බිහිවෙති..
විනෝද වෙති..
දුක් වෙති..
වෛරයෙන් පීඩිත වෙති..

එලෙසින්ම ඔවුන් මිය යති..

නමුත්..
සාම්ප්‍රදායට බැහැර වූ..

“මිනිසුන්“ ද සිටිති.
සොබාදහමේ තුලිත බව රැක ගැනීමට
ඔවුන් උර දෙති..

ඔවුන් ද කාලය හමුවේ..
පරාජය වෙති..

නමුත් ඔවුන්ගේ ප්‍රවාදයන්
අමරණීයය..

සදාකල්ම..

Thursday, March 3, 2011

වෙජිටේරියන් පූසා…

 

hunting-cat_-istock

ඌ..

නමට ‘කිටියා ‘ උනාට

සුරතලේට ‘මොරියාටි‘ ය..

 

කන්නේ බත්ය..

රතු හාලේ බත්ය..

බොන්නේ වතුර ය.

මඩ වතුරය…

 

කොතරම් එලෙව්ව ද,

මද වේලාවකින් නැවත

දෙපා වල දැවටෙන

මූ…

 

දිනක්  වත්ත පහල

ඇති කොස්ගහේ..

ලේන් කූඩුවට මානයි…෴

Tuesday, March 1, 2011

බටර් විස්කෝතුව…

මේ මා කොටස් වශයෙන් සටහන් තබන දෙවන සටහන් මාලාවය.(පලමු සටහන් මාලාව) මෙයට ප්‍රස්තූත ගත කාරනාව ‘බටර් විස්කෝතුව‘ නොවූවත් මෙහි දී බටර් විස්කෝතුවට හිමිවන්නේ සුවිශේෂි වූ තැනකි. ඒනයින්ම එය මෙහි තේමාව වන්නේය….
villageමෙයට මුල් වන්නේ මා වෙසෙන ගම් පෙදෙසය, එය පාරම්පරික ව පැවතෙන ගමක් නොවන බව මා අසා ගත්තේ මගේ මවගෙනි.උපරිම වශයෙන් එයටත් එහි සිටින වියපත්ම මිනිසාටත් ඇත්තේ වසර 90 කට නොවැඩි ඉතිහාසයෙකි.
එහි වෙසෙන බහුතරයම දිවිසරි කරගන්නේ වත්තේ වැඩ කිරීමෙනි .(වත්ත යනු විශාල සමාගම් වලට අයත් තේ වතුය) ඊට අමතරව ගොවිතැනද ඔවුන්ගේ තවත් ආදායම් මගකි.මීට අමතරව සමහරෙක් කසිප්පු ද ගංජා ද විකුණති. නමුත් එවන් පිරිස අතලොස්සකි.මගේ පියා සෑම දිනකම මට පවසන දෙයක් ඇත.

“උඹ මේව විකුණලා දාලා ටවුමකට පලයං,තව ටික දවසක් යනකොට මෙහේ ඉන්න එක උඹට හරි නෑ “
මෙහි යම් ඇත්තක් තිබුණ ද මට ගමෙන් සදාකාලික වම ඉවත් වීමට වුවමනාවක් නොමැත.නමුත් මා නියැලෙන ක්ශේත්‍රයක් සමග ගමේ ජීවත් වීමේ අපහසුතාවයක් ද නැත්තේ නොවේ ‘රස්සාවක් ‘ සොයා ගැනීමට මා කොළඹට යා යුතුය. නමුත් එය මා කාලයට බාර කරන්නෙමි.

වතු සංස්කෘතිය අපූරුය(කොළඹ වතු සංස්කෘතිය නොවේ…එයද අපූරුය).තේ වතු ලස්සනට තිබුණා ට එයින් ලැබෙන තේ කහටේ රසය තිබුණාට එහි වැඩකරන, වෙසෙන මිනිසුන්ගේ ජීවිත එතරම් සුන්දර නොමැත.ඔවුන් ට‘ වැස්ස‘ කියා ගෙදර නැවතීමට නුපුළුවන අද ‘අව්ව‘ කියා ගෙදර රෙදි සේදීමට නැවතීමටද නුපුළුවන.වැස්ස දාට ඔවුන් ඉටි කවරයක් වෙලාගෙන තේ ගස් අස්සේ තේ දළු නෙලති.(නියමිත දළු ප්‍රමානය නොකැඩීමෙන් නියමිත වැටුප නොලැබීමට ඉඩ ඇත).කොතරම් හිරි වැටෙන සීතලක වූවද ඔවුන් තේ දළු නෙලති.

උදේ 7 පමණ වන විට ඔවුන් නිවෙස්වලින් පිටව යයි.නැවත් 12 ට නිවෙස් වලට පැමිණේ .ඉන් පසු සවස 4-5 වන තෙක් ඔවුන්ට උරුම වූ රාජකාරීය කරයි.ජන සංකලනය සිංහල ත් දමිල ජනයාත් වන අතර මුස්ලිම් සුලුතරයක් ද ඇත.දමිල මිනිසුන් වෙසෙන්නේ ‘ලැයිම්‘ වලය (මෙය Line යන්නෙන් කැඩුණු වචනයකි. ඒ ඔවුන් වසන නිවෙස් පේලියට ඇති නිසාවෙනි.පේලියට තිබුණාට එක් නිවෙසක් වෙන් වන්නේ එක් බිත්තියකින් පමණි.)සිංහල බහුතරයක්ම වෙසෙන්නේ සාමාන්‍ය නිවෙස් වලය.

අප අසන දකින බොහෝ මිනිසුන් තුන් වේලටම බත් කෑවාට මෙහි සිටින මිනිසුන් ට එය වලංගු නැත.සමහරෙක් බත් අනුභව කරන්නේ දිනකට එක් වේලකට පමණි.ඉතිරි වේල් වලට “බටර් විස්කෝතුව“ ත් කහට කෝප්පයත් පෙරමුණට පැමිණේ.

බටර් විස්කෝතුවක් ඉස්සර රුපියලකි, විස්කිරිඤ්ඤාවක් ද එසේය. අද වන විට විස් කෝතුවක් රුපියල් දෙකත් දෙකයි පනහත් අතර මුදලකට මිලදී ගත හැක.


මිනිසුන් වේලකට රුපියල් දහස් ගණන් වියදම් කරන ලොවක අපට ඇසෙන පේන මානයේ යතාර්ථය එයය.කිසිම මිනිසෙක් අද උදේට කෑවේ මොනා ද යන්න ඇසුවොත් නිසැකවම “බත්“ යන්න පිලිතුර ලෙස දෙන බව නොඅනුමානය.සත්‍යම පිළිතුර දැන ගැනීමට අවැසි නම් පොඩි එකෙක් සොයා ගත යුතුය.(එය මගේ පියා අනුගමනය කරන පිලිවෙතකි)
“සුදූ අද උදේට කෑවාද?“
“ඔව්“
“මොනාද කෑවේ “
“අලකොලයි බතුයි“

සූදූ යනු පුංචි කෙල්ලකි .ඈට සුරතලේට නිවැසියන් පවසන්නේ සුදූ කියාය.ඇගෙන් දින කිහිපයක ආහාර වට්ටෝරුව පිළිබඳ විමසුවද එහි මහ ලොකු වෙනසක් දක්නට නොමැත.ලොකු මිනිසුන්ගේ ව්‍යාජ බව දියාරු වන්නේ සුදූ වැනි පොඩි එවුන්ගෙනි.පඩි හෝ වත්තේ බෝනස් ලැබුන දාට නිවසේ සිටින්නන්ට කිරි කහට බීමේ වරමත් කරවල කෑල්ලක් එක්ක බත් අනුභව කිරීමේ වරමද ලැබෙන්නේය….

අන් සෑම දාටම බටර් විස්කෝතුවත් කහට කෝප්පයත් අල්ලේ ඇති සීනි කැට කිහිපයත් ඔවුන්ගේ දිවි ගලවයි….

Monday, February 28, 2011

අයි ඈම් නොට් අ ‘කොටියා‘

මා නිතරම ගොඩවදින අපේ මාමාගේ අන්තර්ජාල කුටිය වෙත පසුගිය දිනෙක පිවිසුනේ මට කරගැනීමට මහ ලොකු වැඩක් නොතිබුණද මගේ ජන්ම ගත පුරුද්දට ඉඩ දිය යුතු නිසාවෙනි.

blackමා එහි යනවිටත් සැලකිය යුතු මට්ටමක පිරිසක් එහි සිටියේය. එය සුපුරුදු පරිදි කාර්‍ය බහුලව පැවතින.හිස්ව තිබූ පරිගණකයක් වෙත පිය මැනූ මා යමක් බා ගැනීමට සෙවුමක් දැමීමි.ඒ අතර එයින් සේවා ලබා ගැනීමට පැමිණි සිටි අයෙක් අන් අයගෙන් සුවිශේස වූයේ ඔහු ඉංගිරිසියෙන් වදන් හැසිරුවද පෙනුමෙන් හද්දා පිටිසර මිනිසෙකුගේ විලාසය උරුම කර ගත් නිසාවෙනි.

ටික වේලාවක් යන විට ඔහු දොඩමලු වන්නට විය.

“දීස් පීපල්… “(These People)

“දේ ඩෝන්ට් ඊවන් ස්මයිල් ඉන් හියර් ! “ (They don’t even smile in here !”)

“ ඇයි කොයිවෙලාවේ නාය යයිද දන්නේ නෑනේ “ (මා වෙසෙන පෙදෙසේ ඒ දිනවල නාය යෑම් බහුලව සිදු වින )

“මේ පැත්තේ මිනිස්සු අපේ පැත්තේ වගේ නෙවේ ,ඇවිදින්නෙත් බයෙන් බයෙන් … “ ඔහු කැඩුනු සිංහලෙන් කියා “අපේ “ පැත්තේ මිනිසුන් ඇවිදින අයුරු අන් අයට පෙන්වයි.ඔහු තාරාවෙක් මෙන් ඇවිද පෙන්වයි.

එහි සිටි තවත් අයෙක් ඔහුගේ කතාවට එක්වෙයි ,මද වෙලාවකට පසු අනෙකා…

“වෙයාර් ආ යූ ෆ්‍රොම් ?“(Where are you from? )

“ආ …. නව් යූ ආ ආස්කින් ප‘ටික්යුලර්ස් ඔෆ් මී ? “ (Aaaa Now you are asking particulars of me ?)

අනෙකාට පිලිවදන් දුන් ඔහු,

“අයි ඈම් ……“

“ අයි ලිව් ඉන් *********** “ (ඔහු නැගෙනහිර පලාතේ නගරයක් පවසයි)

“අයි ඈම් අ ලෝයර් “

“ අයි ඇම් ඩුයින් ලෑන්ඩ් බිස්නස් “

“ ඇන්ඩ් අයි ඇම් නොට් අ කොටියා “

ඔහු අවසන් වරට පැවසීය.ඔහු වෘත්තියෙන් නීතිඥ වරයෙකි .ඔහු අපේ පෙදෙසට පැමින ඇත්තේ එහි ඉඩමක් මිලදී ගැනීමටය.අවශ්‍ය ලිපි ලේඛන සකසා ගැනීමට ඔහු මා සිටි තැනට පැමින ඇත.

ඔහු පරිණත මිනිසෙකු වූ නිසාම එලෙස පිලිතුරු දුන් බව මට හැගී ගියේය.යුද්ධය හමාර වී ඇත.නමුත් වාර්ගික යුද්ධ තවමත් හමාර වී නොමැත.එය තවමත් අලු යට ගිනි මෙන් පවතී.වාර්ගික අර්බුද ගැන සටහන් තැබීමට මගේ කිසිදු වුවමනාවක් නොමැති වුව ද තිස් වසරක පිලිකුල් මතකයන් සේදී යාමට තවත් එවැනිම කාලයක් යන බව මගේ හැඟීමය෴

Saturday, February 12, 2011

නුඹ...


හරිම අපූරුයි...
නුඹ

හිටි හැටියේම
මගේ ගතත් මනසත් අවනත
කරගත් හැටි...

මෙතුවක් කල් මගේ (නො)සන්සුන් මනස
නොසන්සුන් කල හැටි....


කිසිදා ඉවත නොකල හැකි සේ
නුඹ මගේ මනසේ රික්තයක්
නිමවූ හැටි.....

මගේ තනිකම ට තවත්
තනිකමක් එක් කල හැටි...

වෙනස් ම වූ ලිපි ලියන
වෙනස් ම වූ චින්තනයක් ඇති
මිනිසෙක් නිමවූ හැටි...

මගේ සුපිරිසිදු අවධානය වෙනස් කල,
ප්‍රේමය නූඹ අපූරුය..

Saturday, February 5, 2011

තිබ්බතයේ මළ පොත සහ මම

මෑතකදී මා කියවූ පොතකි “තිබ්බතයේ මළ පොත” තිබ්බත වාසීන් මරණය මෙනෙහි කරන වර්ගයකි.ඔවුන් ට ආවේනික වූත් අපූරු වූත් චර්යා රටා එහි ගැබ්ව තිබිණ.

අප ඉපදුනායින් පසු සහතිකේටම අප දන්නේ අප මැරෙන බව පමණකි.මා ද මරණය මෙනෙහි කරන්නෙක්මි.එය අද ද හෙට ද මාසෙකින්ද වසරකින් ද තව අවුරුදු සියයකින්ද යන්න මා නොදනිමි.දන්නේ එකම දෙයකි එය කවදා හො නිෂ්ඨාවටම සිදුවන බවයි.

මෙය සාර්ව අසුභවාදී චින්තනයක් බැව් මා නොසිතමි.නමුත් මෙය යථාර්තවාදී චින්තනයක් බව මම සිතමි.මෙය ඔබ කියවන විට මා මැරී සිටීමට ද පුලුවන එසේ නොවීමට ද පුලුවන.මන්ද මේ ලියන ලිපිය ඔබ දකින්නේ මා මෙය ලිවීමෙන් මාස කිහිපයකට පසුව වීමය.

එක් අතකට මරණය ඉපදීම තරම්ම සුන්දර වීමටද ඇත.කර්මය විශ්වාස කරන ඕනෑම අයෙකුට එය එසේ කර ගැනීම අපහසු දෙයක් නොවන බව මා තරයේ විශ්වාස කරන්නෙමි.මා කියවූ විද්‍යා සගරාවක තිබුණේ අප අනුභව කරන ආහාර වලින්ම අපේ සෛල වල වර්ධනයත් විනාශවීමත් සිදු වන බවය.එක් අතකට ලෝකය ආශ්චර්යජනකය.ඒ ගැන සිතීමට මගේ මනස තවමත් මෝරා නැත.මා දන්නේ ලෝකය එසේ බව පමණකි෴

Saturday, January 29, 2011

ගොඩයා…

images (9) මේ ලිපියට ප්‍රස්තූත වූ කාරණා බොහොමයක්  මා පසු ගිය කාලයේ අත්වින්දෙමි.මා ගෙන්දම් පොලොවේ පය ගහන වාර ගණන වැඩිවත්ම මෙය වඩ වඩාත් තීව්ර ලෙස දැනෙන්ට විය.

මගේ පියා මට කුඩා කල සිට මට සිහිපත් කල කතාවක් විය.

“පුතා ප්‍රංශෙට ගියාම ප්‍රංශ කාරයෙක් වගේ හිටපන්“

කුඩා කල මට මෙහි තේරුණේ ප්‍රංශය පමණි.පසුකලෙක මා මෙහි යථාර්තය වටහා ගතිමි.

මා නාගරික සමාජයටත් අතිශයින්ම ග්‍රාමීය වූ පරිසරයටත් එකලෙස අනුගත වීමේ හැකියාව වැඩිදියුණු කර ගත්තේ මා මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක් ලෙස ඉපදිම බව මගේ විශ්වාසයයි. නමුත් මේ අනුගත වීම හමුවේ අසාර්ථක වන අයවලුන් දෙස සමහර නාගරික කොටස් වපරැසින් බලන කල  සියුම් කෝපයක් මසිත ජනිත වෙයි.එය සංසිදෙන්නේ එය ලෝක ස්වභාවය බව මට වැටහීමෙන් පසුවය.

නූතන සංකරත්වයට අනුගත නොවන්නා වත්මන් සමාජයේ “ගොඩයා“ යැයි හදුන්වයි.බහුතරයම ගමේ කොල්ලෝ කෙල්ලෝය.ඔවුන්ගෙන් බහුතරයකටම ඉංගිරිසිය “කතා කිරීමට“ නොහැකිය.ඔවුන් හැදි ගෑරප්පු වලින් ආහාර ගැනීමට නොදනිති.වේලකට රුපියල් දහස් ගණන් වියදම් කරමින් ආහාර නොගනිති.පබ් ගැන අසා නොතිබුනද නයිට් ක්ලබ් ගැන පත්තර වලින් කියවා ඇත.ටයි පටියක් පැලදීමට නොදනිති.ඔවුන් හිපොප් ,රොක් නොදනිති.නොතේරෙන්න ඉංගිරිසියෙන් වනන “සිංහල“ සිංදු ගැන දනිති.ඔවුන් Eminem ලා 2Pac ලා නොදනිති.නමුත් ජෝතිපාල ලා,මිල්ටන් ලා ගැන හොදින් දනිති.

මෙවන් සංකල්පවලින් පුද්ගලයෙකු ගොඩයෙකු වන්නේ කෙසේදැයි මා නොදනිමි.ගොඩයින්ට හිනාවෙන උදවිය නොදන්නා බොහොමයක් ඇති බව මා එවැන්නවුන් ඇසුරු කිරීමෙන් ම දැනගතිමි.

සමහරෙක්ට තනි සිංහලෙන් වදන් හැසිරවීමට නොහැකිය.(වදන් වලින් 75% ක් ම ඉංගිරිසිය).සෙරෙප්පුවක් නොමැතිව පොලොවේ පය ගැහීමට හිරිකිතය.උදැල්ලක් කිසිදා හසුරුවා නොමැත(උදැල්ලක් තබා සමහර තරුණියන් කොස්සක් වත් හසුරුවා නොමැත).රතු හාලේ බතක් ,පොල් සම්බෝලයක් වැනි සරල ආහාරයක් වත් සැකසීමට නොදනිති.නමුත් ඔවුන්ට සොසේජස් වැනි “පෙර පිසින “ ලද ආහාර නම් පිසිය හැක.අසන ගීත වලින් බහුතරයම හුදු ශබ්ද රසය පාදක කොටගත් ඒවාය(මේ කරුණ ඉංගිරිසි ගීත වලට මෙන්ම සිංහල ගීත වලටද පොදුය).ඔවුන් “Eminem ලා 2Pac ලා “ ගැන හොදින්ම දනිති.2Pac මියගිය හැටි ත් ඔහුගේ මුලු කැරැට්ටුව ත් දනිති නමුත් මහගම සේකරයන් ගැන නොදනිති,නන්දා මාලනියන් ගැන නොදනිති,ජෝතිපාලයන් ගැන ද නොදනිති.

ගැටළුව ඇත්තේ මෙතැනය ගොඩයින් ඔවුන්ද ? නැත්නම් මොවුන්ද ?

නූතන සමාජය තුල සංකර වීම දකින්නේ ආභරණයක් ලෙසය.බොහෝ අය ඇමෙරෙකානු ව්‍යාප්තිවාදයේ ගොදුරු වී හමාරය,එයට සාපේක්ෂව ගොඩනැගුණු ඉන්දියානු උපව්‍යාප්තිවාදයට හසුවූ පිරිස අතිශයින් ඉහලය.නුදුරු දිනකදීම ලාංකීය සංස්කෘතිය වියැකී යනු ඇත.එය හුදෙක්ම ආභරණයක් පමණක් වන දිනය මෑතකය.ලොව අන් සියලු ජාතියකටම සුවිශේෂ අනන්‍යතාවයක් ඇති මුත් අපට  “දැන්“ එවැන්නක් නොමැත.ලාංකිකයන් බොහෝ වෙලාවට විදෙස් රටවලදී “ඉන්දියනුවන්“ ලෙස වෙනත් ජාතීන් වැරදියට හදුන්වන්නේ ද මේ නිසාවෙන් වන්නට ඇත෴

Sunday, January 23, 2011

රත්තරන් පොරොව!!!

Stock-market-investing මා කොළඹ කොටස් වෙලඳපොල සමග සම්බන්ධ වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය.ඒ සඳහා යොමු වීමට මට කාලයක සිටම අවශ්‍යතාවයක් තිබූණි.
පළමුවෙන්ම මා කලේ මෙහි ගණුදෙනු සිදුවන ආකාරය සොයාබැලීමය.මේ කාලයේ මට තැරැව්කාර සමාගමක නිලධාරියෙක් හමුවිය.සුපුරුදු ලේඛන ගොන්න පුරවා මා ද ගිණුමක් විවෘත කර ගතිමි.
දැන් ඇත්තේ මිලදී ගැනීමේ වාරයයි.
“මල්ලී ඔයා ගන්න Share එකේ ගාන දාලා මේක පුරවල දෙන්න“
ඔහු මට පෝරමයක් දිගු කලේය.මා ද එය පුරවා දැමීමි.කෙසේ වූව ද මට මෙතරම් නවීන කාලයේත් අතිශයින්ම ගතික ස්වභාවයක් උසුලන වෙලදාමකට මෙය සුදුසු ක්‍රමය දැයි මට එකල සිතෙන්නට විය.සති කිහිපයකට පසුව මට පාසල් මිතුරෙක් හමුවිය.,ඔහු සමඟ ආගිය තොරතුරු කතා කරන විට ඔහු මේ සම්බන්ධව කලක සිට සම්බන්ධ වී සිටින බව මට පසක් වී ගියේය.
“මචං මාත් බැලුව බං සෙට් වෙන්න මාත් අකවුන්ට් එකක් හැදුවා “
“කොලයක් නං පුරවලා දුන්නා තාම එකක් වත් ගන්න නං බැරිඋනා“ මා කීවෙමි.
“යකෝ ඒ ඉස්සර බං කොල පුරවල Shares ගත්තේ“
“ ඒ දවස් වල තමයි බං 2.50 ගානේ 5000 යි කියල එහෙම කෑගහල Shares ඉල්ලන්නේ“
“දැං ඔක්කොම Online වෙන්නේ උඹ වරෙං මාත් එක්ක මගේ Advisor ටම join කරන්නම් උඹවත්“
කියූ ලෙසම මා ඔහුත් සමඟ තවත් ගිණුමක් සෑදීමට ගියෙමි.ඔහු මා වෙනුවෙන්ම එයට පැමිණ සිටීම ගැන අදටද  මා ඔහුට කෘතඥ වෙමි.
දවසින් දවස මෙහි විශ්ලේශනයන් සිදුකලෙමි.අද වනවිට සාර්ථක ලෙස මට යම් යම් සමාගම් කොටස් පිළිබඳ පුරෝකථනය කිරීමට හැකිවිය.
එහි අතුරුඵලයක් ලෙස බොහෝ දෙනෙක් මගෙන් උපදෙස් විමසන්නට විය.මා ඔවුන්ට උපදෙස් දෙන්නෙමි,පුරෝකථනයන් කරන්නෙමි. නමුත් මා ඔවන්ට අවසානයේ දෙන පොදු උපදෙස් කිහිපයක් වෙයි.
“මතක තියා ගන්න Share Market එක කියන්නේ සූදු පොලක් නෙවෙයි“
“ඔබ බලාපොරොත්තු වෙන ලාභය ලැබුණා නම් එය විකුණා දමන්න“
“ඕනෑ වට වඩා ලාභ ලබන්න හිතන්න එපා,බොහෝවිට ඔබ දරපලන්නා ගේ පොරොව නැති වූ පසු ‘රත්තරන් පොරව‘ ක් ලැබුණු කතාවේ අනිත් දරපලන්නාගේ ඉරණමට ගොදුරුවේවි!“

Tuesday, January 18, 2011

දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?

මා පසුගිය දිනෙක නගරයට ගියේ දුරකථන බිලක් ගෙවීම සඳහාය.ලංකාවේ ඇති සුප්‍රසිද්ධ දුරකථන සමාගමක ශාඛාවක් වූ එහි මා යනවිට එතරම් කාර්‍යබහුලත්වයක් පෙනෙන්ට නොතිබිණ.

images (8) එහි සිටි නිලධාරින් සියල්ල ගේ මුවඟ රැදි මද සිනාව සුපුරුදු “ව්‍යාපාරික“ සිනාව නොවන බව මට පසක් වූයේ එහි ගොස් විනාඩි දෙක තුනකට පසුවය.

වයෝවෘද්ධ මහතෙකු දුරබනුවක් අතතැතිව එහි සිටියේය.එය නවීන පන්නයේ එකක් නොවූ අතර ඔහු එයින් ඇමතුමක් ගන්නට තතනයි.

“හෙලෝ … හෙලෝ….“

“සර් කොලපාට බට්න් එක ඔබන්න“ අයෙක් පැවසුවේය.

කෙසේ හෝ ඔහු ඇමතුම ගත්තේය.

“ඉස්සර මං උගන්නන දවස් වල නයින්ටි පර්සන්ට් පාස් රේට් එකක් තිබ්බා ඕලෙවල් ලමයින්ගේ..“
“ඒ දවස් වල දැන් වගේ ටියුෂන් තිබ්බෙත් නෑ“

ඔහු විශ්‍රාමික ගුරුමහතෙකි.ඒ වදන් ඒ බැව් සනාථ කලේය.

“දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද?“

“ඔව්“

“එතකොට මේ වෙලාවක් පේන්නේ?“
“ඒකට බැටරිය බහිනව නේ“

“ඔව් ඒ උනාට චාජ් කරන්න පුලුවන්නේ“ එහි සිටි අයෙක් පැවසීය.

“හා මං එහෙනං යන්නා පුතා“ ඔහු සමුදුන්නේය.

මා මේ පිලිබඳ මෙහි සටහන් තබන්නේ මෙය කථාබහට ලක් කල යුතු කථාවක් යැයි මා සිතන නිසාවෙනි.මහ ලොකුවට අංකිත බෙදීමක් (Digital Divide) ගැන කථාකරන උදවිය මේ ගැන නොදන්නවා විය නොහැකිය.

බොහෝ වැඩිහිටියන්ට ජංගම දුරබනුවක් නිවැරදිව හැසුරුවීමට දැනුමක් නොමැති බව  කුප්‍රකට කරුණකි.ඔවුන් මේ සඳහා අනුගත වන්නේ ඉතාමත්ම අවිධිමත් ලෙස මගේ හැඟීමය.ඔවුනට ‘අයි ෆෝන් ‘ අවශ්‍ය නැත.‘ඇන්ඩ්‍රොයිඩ් ‘ අවශ්‍ය ද නැත.අවශ්‍ය වන්නේ නිවැරදිව සාමාන්‍ය දුරබනුවක් ක්‍රියාකිරීමට පමණි.

සංවාදයට විවෘතයි……..

Sunday, January 16, 2011

මොන්ටිසෝරිය

 

 

images (7)මගේ මව මොන්ටිසෝරියට මාව ඇතුලත් කරන විට මගේ වයස අවුරුදු තුනකි.රතු තිත් සහිත සුදු ෂර්ටයක්ද රතු කලිසමක්ද එහි නිළ ඇඳුම විය.

එය කන්‍යාරාමයකි එනිසාම එහි ඉංගිරිසි ආරකට කටයුතු සිදුවිය.එනිසාම මට කුඩා කල සිටම ඉංගිරිසි බසෙහි හුරුවක් ද තිබුණි.මග තොටේ දකින හැම බෝඩ් ලෑල්ලක්ම මා කියැවීමි.එනිසාම මට කියවීම සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු කරගැනීමට ද හැකිවිය.

කන්‍යාරාමයේ වැඩකටයුතු පිළිවෙලකට සිද්ධ විය.වැඩිමහලු අක්කලා අයියලා එහි ගොස් පියානෝ වාදනය උගෙන ගත් හැටිත් මට මතකය.මා මොන්ටිසෝරියේ ඉගෙන ගත් පාඩමක් නොමැත ඒ වෙනුවට මා එහි සිටියවුන් සමඟ ඇති පදමට නැටුවෙමි.උදේපාන්දරම මොන්ටිසෝරියට පැමිණියහොත් මෙරිගෝ රවුමේ ආසනයක් වෙන් කොට ගත හැකිය.

එකලද නරුම කොල්ලන් මට මුණ ගැසුණි.සමහරු ලඟ ආයුධ ද තිබිණ.ඒ දිනවල දරුණුතම ආයුධය ගෙදර මැසින් ලාච්චුවෙන් අම්මාට හොරෙන් උස්සාපු ඉදිකට්ටය.කවුරුන් හෝ අයෙක් ඉඳිකට්ටක් ගෙන උදෙන්ම අනෙක් අයට පෙන්වූ විට ඔහු දවසේ වීරයා ය.කවුරුවත් ඔහු සමඟ ඔට්ටු වීමට යන්නේ නැත.

මා අවුරුදු තුනක් හෝ දෙකක් මොන්ටිසෝරියේ සිටින්නට ඇත.එක වසරට පැමිණිපසු වැඩිමහලු අයියා කෙනෙක්(වැඩිමහලු යැයි කීවාට ඔහු දෙකවසරේය) මා සමඟ පැවසූයේ මා මොන්ටිසෝරියේ දී “පේල් “ වූ නිසා අවුරුද්දක් පහලින් සිටින බවය.එකල මට මෙය නොතේරුණු බැවින් මා ඔළුව හොල්ලා එය අසා සිටියෙමි.

මොන්ටිසෝරියේදී ජීවිතය සරළය.වෙලාවට කෑම ටික අතට ලැබෙයි.කිසිදු වගකීමක් නොමැත,ආදරය කරන්නට ඕනෑ තරම් මිනිසුන් ද සිටිති,විභාගද නොමැත,ඒ නිසාම ගිරවුන් සේ පාඩම් ආයාසයෙන් පාඩම් කිරීමටද අවැසි  නැත.කොටින්ම කියතොත් අතිශයින්ම නිදහස් වූ කාලයකි එය. මෙවන් වූ කාලයක් නැවත ජීවිතයේ උදාවන බව මගේ හැඟීමය ඒ මහලු කාලයය.වෙනසකට ඇත්තේ තරුණ කාලයේදී කරන ලද දේ අනුව පසුතැවිල්ල ක් හෝ සතුටක් පොලී වශයෙන් මතකයට එකතුවීමය෴

Saturday, January 15, 2011

කාලසර්ප යෝගය

කාලසර්ප යෝගය වනාහි මා ජ්‍යොතිෂය ඉගෙනීමට බලපෑ ප්‍රධානතම කරුණු තුනෙන් එකකි.අනෙක් දෙක වනුයේ මගේ වැඩිමහල් සහෝදරයා හා ජ්‍යොතිෂය බොරු කිරීමට මට සිතුනු යටපත් කල නොහැකි ආශාවය.

අයියා ජන්ම ලාභය ලබා ඇත්තේ කාලසර්ප යෝගය ඇතිවය.මීට අමතරව ඔහුගේ බැලූබැල්මට පාපී ග්‍රහ පිහිටීම් කිහිපයක්ද තිබෙන බව එකල දෛවඥයෝ මව්පියන්ට පවසා ඇත.මේ කරුණු පසුව දැනගත් ඒවාය.kala

අයියාගේ කලවයස හරියන විට අඹුවක් සොයා යන විට ඔහුගේ කාලසර්ප යෝගය නිතරම දෛවඥයෝ අන්තිම තුරුම්පුව ලෙස තබාගත්හ.

“මොකක්ද මහත්තයෝ ඔය කාලසර්ප යෝගය කියන්නේ?“

මගේ පියා මේ පිළිබඳ කිහිප දෙනෙකුගෙන් විමසා සිටියද ඔහුවත් මාවත් සෑහිමකට පත්කිරීමට තරම් ප්‍රබල පිළිතුරක් ඔවුන් සතු නොවීය.මීට අමතරව මගේ පියා මා ජන්ම ලාභය ලැබූ මුල් දිනවලම අපේ පැත්තේ සිටි ලංකාවේ සිටි සුප්‍රසිද්ධම දෛවඥමහතෙකුගෙන්(අදටද මෙතුමා ලංකාවේ පහලවුණු විශිෂ්ඨ ඝනයේ දෛවඥයෙකු ලෙස පිළිගැනෙන අතර මෙතුමාගේ පොත් මාද පරිශීලනය කරමි) මගේ කේන්ද්‍රය බැලීමට ගොස් අපූරු කතාවක් අසාගෙන පැමිණි බව පියා මා සමඟ පසු කාලයේ පැවසුවේය.

“හපෝ මේකා නං තියාගන්න එපා “
“වසවර්තියෙක් වගේ එකෙක්“
“කොහෙට හරි දීලා දාන්න“

මා මෑතකදී මේ පිළිබඳ පියාත් සමඟ කතා කලෙමි.

“ඉතින් තාත්තට හිතුනේ නැද්ද මාව කොහෙට හරි ගිහින් දාන්න?“
“මට ඔයා පොඩි කාලේ තේරුණා ඔයා එහෙම එක්කෙනෙක් නෙවෙයි කියල“

මේ ආකල්පය නිසාම මට මෙය බොරු කිරීමේ යටපත් නොකලහැකි ආශාවක් කුඩා කල පටන්ම තිබිණ.මේ සියල්ල නැවත මතුවූයේ අයියාගේ කලවයස හරි යෑමත් සමඟය.ඒ වනවිටත් මා ජන්ම පත්‍රයක්  සෑදීමට තනිවම උගෙන තිබිණ.

මේ නිසාම තාත්තා මට ගුරුවරයෙක් සෙවීමට යත්න දැරූවේය.අවසානයේ මගේ නෑදෑ මාමා කෙනෙකු මාර්ගයෙන් ගුරුවරුයෙකු හමුවිය.මා ජන්ම පත්‍රයද රැගෙන එතුමා හමුවීමට ගියෙමි.

“සර් මට මේක ඉගෙන ගන්න ඕනේ“
“ඔය ළමය කට්ටිය ඉවර වෙනකං අතනින් වාඩි වෙලා හිටියනං“

“ආ කේන්දරේ ගෙනාවාද?“
“ඔව්“

මදක් එදෙස බලා සිටි එතුමා

“ආ මෙයා නං නියම එක්කෙනක් “
“කෝ කෝ පොතක් එහෙම ගෙනාවාද දැන්ම පටන් ගමු ඉගෙන ගන්න අද ඔයාගේ දවසත් හොදයි“

දීප්තිමත් වූ දෙනෙතින් යුතුව සිනාසුණු ඔහු ගේ වදන් මා මවිතයට පත්කලේය.ඒ මා නිල වශයෙන් දෝසතර ඉගෙනගත් දිනයයි.එය බොහොම ඉක්මණින් මා ග්‍රහණය කර ගතිමි එපමණක් නොව නව ජ්‍යොතිෂ ගණිත ක්‍රම කිහිපයක්ම මට නිර්මාණය කිරීමට ද හැකිවිය.ඒවා බොහෝ උනන්දුවෙන් අසා සිටි එතුමා ඒවා ඔහුගේ සටහන් පොත් වල තබා ගත්තේ මා අගය කරමිනි.(දැන් එතුමා විවේක සුවයෙන් සිටින අතර මා ඉඩ ලැබෙන හැම වේලාවකම ඔහු බැහැදකී)

කාලසර්ප යෝගය වනාහී සරළවම කියතොත් රාහු සහ කේතු (ඡායා ග්‍රහයන්ය) ග්‍රහයන්ට අනිත් සියලු ග්‍රහයන් මැදි වීමය.මෙහි උප කොටස් ගණනාවක්ම ඇති මුත් කියනා තරම් අශුභ ඵල හැමෝටම අත්නොවන බව මා අත්දැකීමෙන්ම දනිමි(මගේ වැඩිමහල් සහෝදරයා එයට ඉතා හොද උදාහරණයකි).මා ජ්‍යොතිෂය බොරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතුව එයට අත්පොත් තැබූවද එය මිනිසාට මහඟු දායාදයක් වන බව උගෙනගතිමි.

නිවැරදි දෛවඥයාගේ භූමිකාව නැවතත් කථිකාවකට ලක් කල යුතු බව මගේ හැගීමය.මෙය තමන් පෙර ආත්මයක සිටි පුහුණු කල යුතු ශාස්ත්‍රයක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඒ නිසාම මෙය පූජනීය වෘත්තියක් ලෙස මා සලකන්නෙමි.මේ වනවිට මා පුරෝකථනය කල බොහෝ දෑ සත්‍ය වූ අතර මතකයේ හැටියට මට වැරදී ගියේ එකම එක ජන්ම පත්‍රයක් පමණි.පලාඵල කථනය ට අවශ්‍ය දැනුම තිබුණාට ප්‍රමාණවත් නොවන බව මා සිතන්නෙමි.මේ සදහා යම් කිසි දිව්‍යමය බලයක් (Divine Power) ද අවැසි වන බව මා අත්දැකීමෙන්ම දනිමි.

ලිපිය ලියන අතරතුර මට මතක් වූ ශ්ලෝකයකින් මා අද ලිපිය අවසන් කරන්නෙමි.෴

“ අප්‍ර දීපා යථාරාත්‍රී රනාදිත්‍යං යථානභඃ

            තථා සාංවත්සරෝ රාජා භ්‍රමත්‍යන්ධ ඉවාධිවනි “

අරුත:- පහන් නොමැති රැය හා හිරු නොමැති අහස යම්සේද,දෛවඥයෙක් නැති රජ ද අන්ධයකු මෙන් ඔබිනොබ බමවයි.

Thursday, January 13, 2011

ලා නිනා…… La Nina

 

images (6)

වෙනදාට හතට ඇහැරෙන මාව
දහය වෙනකම් යහනේ තැබූ
නුඹ..

දවස පුරා පොරෝනයෙන් වසා තැබූ
නුඹ..

නිරුවත් දෙපා බිම නොතබන්නට
ඉඩ නොතැබූ
නුඹ..

මගේ ඇඟිලි හිරි වට්ටවා
මට යතුරුලියනය අපහසු කල
නුඹ..

වෙලාවට මගේ වැඩ නිම
කරන්නට ඉඩ නොදුන්
නුඹ..

La Nina(ලා නිනා)..

නුඹ නිසා මට කෙලවුණා෴

 

..::නිමිත්ත::..

මටත් හදවතක් ඇත!!!(අවසන් කොටස)

මේ ඇගෙන් එක දිගට ප්‍රතිචාරයක් නොලැබුනු තෙවන අවස්ථාවය.මෙයින් සිදු වූයේ මගේ මනස තව දුරටත් නිරුත්තර කිරීමට තරම් හදවත කරුණු එක් රැස් කරගැනීමය.සරසවියේ සමීපතම මිතුරෙක් මේ විපරියාසය ගැන හොදන් ඇස ගසාගෙන සිටි නිසා මා මේ පිළිබඳ ඔහු සමඟ මේ පිළිබඳ කටයුතු සාකච්ඡා කලෙමි.ඔහු ඉතාමත් පරිණත ලෙස මෙහිදී කටයුතු කල බව මා කෘතඥ පූර්වකව සිහිපත් කරමි.

images (5) “මචං මං උඹ ගැන හොඳට දන්නවා ,මං කැමති නෑ උඹ වගේ එකෙක් ඕකෙන් නාස්ති වෙනව දකින්න මං මේ උඹ නාස්ති වෙනව කියනව නෙවේ.ඒත් මචං උඹ වගේ එකෙක් නැති උනොත් ඒක ලෝකෙටම පාඩුවක් වේවි.“

මෙහි අඩක් සත්‍ය වූව ද අනිත් කොටස ගැන මා නොදනිමි.ඒ ඔහු මා ගැන තබා සිටි ආකල්පයය.

“බලපන් ඕක කරන්න කොච්චර අමාරුද කියල .අම්බානෙක රිසෝසස් අදිනව බං මොලේ“

ඔහු නැවතත් මා සමග කියාගෙන යයි.ඔහුගේ කියමන සපථ කරමින් ඒ කාරණය නම් පසුකලෙක මට මැනවින් දැනෙන්ට විය.

සාමන්‍යෙයන් මා ඇයට කෙටි පණිවුඩ තබන ශෛලියක් වෙයි.ඒවා හොදින් අවබෝධ කරගැනීමට සමත් වූ බැවින් මා එය සම්මතය කොට ගතිමි.(කුඩා කල සිටන්ම රහස් පණිවුඩ ක්‍රම නිමැවීමේ නිසඟ හැකියාවක් මා සතුවූ බැවින් ඒවා සැකසීම මා හට වඩ වඩාත් පහසු වීය)

එදින ද මා ඈට මෙලෙස පණිවුඩයක් යැවීමි.එදින හවස ඈ මට දුරබැනුවාය.

“මං හදිසියේම ගෙදර ගියා“
“ආ ඇත්තද?“

ඇගේ හඬ ඇසීමෙන් මගේ කෝපය සැනෙකින් නැතිවී ගියේය.මෙය ගැහැණුන් සතුව ඇති සුවිශේෂී හැකියාවක් බව මගේ හැඟීමය.දැන් සුපුරුදු පරිදි කිසිවක් නොසිදුවූ සේ අප දොඩමලු වෙයි.මගේ පියා මේ සම්බන්ධව මාත් සමඟ විටෙක සාකච්ඡා කොට තිබූ කාරණයක් මට සිහිපත් විය.

“පුතා ගැහැණියක් ආශ්‍රය කරල බලපන් “
“ඒක ජීවිතයට පැට්‍රෝල් වගේ දෙයක් !“

පියා එකල එසේ පැවසුවද එය මට අත්දැකීමෙන් ම ඔප්පු වේ යැයි මා කිසිදාක නොසිතුවෙමි.ඈ නිසා මට වෙනත් දුරකථන සම්බන්ධයක් සොයා ගැනීමට සිදුවිය.සරසවියේ දී වේලාසනින් ඇහැරීමට සිදු විය.ඒ එක් කරුණක් වත් මා පීඩාවට පත් නොකිරීම එහි ඇති පුදුමාකාර ස්වාභාවයයි.මෙය සොබාදහමේ වෙනස් නොකල හැකි තවත් න්‍යායක් බව මා තරයේම විශ්වාස කරන්නෙමි.ඈ මෙවන් න්‍යායක් මිනිස් මනස තුල වෙනස් කිරීමට ඉතා අපහසු ලෙස ස්ථාපිත නොකලේ නම් මිනිස් වර්ගයාගේ පැවැත්ම අතිශයින් ගැටළුසහගත වන බව  මගේ හැඟීමය.

පිරිමියෙක් ගැහැණියකගෙන් තමන්ගේ පෙම්වතිය වන්නේදැයි ඇසීම සාමාන්‍ය සාම්ප්‍රදයය.එය එසේම විය යුතු බව මගේ හැඟීමය.ඈ විටින් විට මගෙන් මඟ හැරී යාම තුලින් මෙය ස්ථීර වශයෙන්ම ඇගෙන් විමසිය යුතු බව මට සිතුනි.දිනක් හිතවත් අක්කා කෙනෙක් ,

“ ආ කොහොමද මල්ලි කෙල්ලගේ තත්වේ“
“ ආ අක්කා තාම මං එයාගෙන් අහල නෑ “

“ඉක්මනට අහනව නැත්තම් වෙන එක්කෙනෙක් අහයි“ ඈ මට උපදෙස් දුන්නාය

“ආ ඒකට කමක් නෑ එයාට හොඳක් වෙනවනම්“

මා දුන් පිළිතුරට ඈ නිරුත්තර වී සුසුමක් හෙලූ හැටි අදටද මට මැවී පෙනේ.

මා සැලසුම් කොට තිබුණේ  වාර්ෂික ව පාසලේ සංවිධානය වන සිසුන්ගේ හමුවේදී මේ පිළිබඳ විමසීමටය.නමුත් ඈ විටින් විට මා හා සම්බන්ධ නොවීම නිසා මේ කාරණය තවත් ඉක්මන් විය.ඈ මා හා කතා නොකල දින දෙකක් වූව ද මට සතියක් තරමට දැනෙන්ට විය.

“මචං මේක ඉක්මන් වෙනව බං,ගෙට් එක වෙනකම් ඉන්න බැරි වෙයි වගේ “
“උඹෙත් කැටයම් නේ අනිත් එක ඔච්චර දැනෙන එකේ ඕක අහල ඉවර කරපන් අනික දැන් උඹ හොදටම දන්නවනේ මේක හරි කියල“

ඒ සදහා මගේ මනස සැලසුම් කරන්නට විය.ඈටත් මටත් මුළු ජීවිත කාලයටම මතක හිටින සංසිද්ධිය ක් නිර්මාණය කිරීමේ වගකීම මගේ මනස විසින් බාරගෙන තිබුණි.ඈ මවිත කිරීමට මට හැකි සියලු දේ දින කිහිපයකින් මා සැලසුම් කලෙමි.(මා ඒ පිළිබඳ මෙහි ලිවීමට අදහස් නොකරන්නේ කිසිවෙකුට මෙය කියවා පසුතැවිල්ලක් ඇතිවේ යැයි සිතෙන නිසාය,ඒ නිසාම මෙය කාලයේ වැලිතලාවෙන් වැසී ගියාවේ…).ඈ එයට සූදානම් කිරිමේ අටියෙන් මා ඈ සමඟ වත්පොත් සංවාදයක නියැලුනෙමි.මේ අදාල දේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කල දිනට පෙර දිනයය.

මේ කතාබහ වෙනදාට වඩා ගැඹුරු විය.මා කිරීමට යන දේ සහ මා පිළිබඳ නැවතත ඈට කරුණු කීවෙමි.හදිසියේම ඇගේ වත්පොත් ගිණුම ඈ අවලංගු කලාය.මා සිතුවේ මෙය සිදුවූයේ මා නිසා සිදුවූවක් බවය .මෙය මට දරාගත නොහැකි තරම් වේදනාවක් ගෙන දීමට සමත්විය.කොතරම් ගැටළු තිබුණද මට නිදියහනේදී ඒ සියළු දේ අමතක කොට සුවසේ නිදාගැනීමට හැකිවූව ද මේ කාරණයේදී මා අසරණ විය.

මට දොලහේ කණිසම ද අළුයම එකේ තුනේ හතරේ පහේ සහ හයේ කණිසමද ඇසීමට තරම් මා අඩ නින්දේය.ඒ මා මට මතක ඇති කාලයක නිදිවැරූ කාලයයි.අළුයම ද මට මගේ මිතුරා කතා කොට මා සනසන්නට උත්සහ දැරීය.

“පොඩ්ඩක් ඉදපන් මචං උදේ වෙනකම් අපි දන්නේ නෑ නේ වෙන මොකක් හරි කේස් එකක් ද කියල“

උදේ ඈ මට දුරබැනීය.

“ඔව් අනේ මං අකවුන්ට් එක ඩී ඇක්ටිවේට් කලා .මට කොල්ලෝ වගයක් කරදර කරනව“

“කවුද ඕකුන්?“ මා කෝපයෙන් ඇගෙන් ඇසු නමුදු ඈ එයට පිළිතුරු නොදුන්නාය.ඈ මට එදින හවස අමතන බව පවසමින්  මට සමුදුන්නාය.ඊට පසුදින මට ආයතනික පුහුණවක් සඳහා ගෙන්දගම් පොලොවේ පය ගැසීමට සිදු වන නිසා මා කොළඹට ආසන්න මගේ මිතුරෙකුගේ නිවසට පැමිණියෙමි.ඒ වනවිට ඔහුත් මෙය දැනගෙන සිටියේය.

එදින රාත්‍රිෙය් ඈ මට දුරබැනීම ප්‍රතික්ශේප කලාය.ඈ මට කෙටි පණිවුඩයක් එවමින් කියා සිටියේ ඇගේ පරණ පෙම්වතා කතා කරන බැවින් එයින් ඈ මහත් වූ සිත්තැවුලකට පත්ව ඇති බවය.මේ වනවිට මගේ සියලු සැලසුම් බොඳ වී හමාරය.කෙටි පණිවුඩයිකින් ආදරය ප්‍රකාශ කරනවා විනා අන් කල හැකි දෙයක් නොමැති වූ නිසා මා ඒ විකල්පයට ගියෙමි.

ඈ පසුදින මට කෙටිපණිවුඩයක් එවමින් ඈ අමතක කරන ලෙස පැවසීම මගේ කෝපය දෙගුණ තෙගුණ වන්නට විය.

“මචං ලෝකේ ඕන තරම් අෆයාර්ස් තියෙනව ඔහොම මං අඳුරන කොල්ලෙකුත් එහෙම තමයි ඉන්නේ උන් කවදාවත් එහෙම අහල ත් නෑ ඒ උනාට උන් යස අගේට ඉන්නවා“

එක් මිතුරෙක් තරහින් කියාගෙන යයි.

“මචං මං එක දවසක් හරි ආදරය කරපු කෙල්ලෙක් මේ ,මට බෑ ගිහින් බනින්න ඒක එයාගේ කැමැත්ත නං මං මේක නවත්තනව“ මා කීවෙමි.

නමුත් මෙයට මගේ අනෙක් මිතුරා අකමැති විය.

“මචං මං උඹත් එක්ක එන්නම් මේ වැඩේ ඉවර කරන්න අපි දෙන්න යමු  එයා හම්බවෙන්න“

ඈ ඊට පසුදින මට කතා කලාය.සුපුරුදු හිතවත් ගතිය ඇගේ කටහඩින් අතුරුදන්ව ගොස් තිබිණ.ඈ බොහෝ දෑ මාත් සමග කීවාය.එයින් මට ගම්‍ය වූයේ ඇගේ පරණ පෙම්වතා සමඟ ඇගේ හාදකම තවමත් පවතින බවය.මා ඒ දින කිහිපයට විඳි  වේදනාව දෙවැනි වන්නේ මගේ මවගේ වියෝ වීමට පමණි.

මට මෙය අවසන් කිරීමට අවැසි විය.ඒ සදහා මට මගේ මනසත් හදවතත් එකඟ කරවා ගැනීමට අවශ්‍ය විය.ඒ සදහා මගේ මවගේ වාර්ශික දානය යෙදෙන දින මේ වෙනුවෙන් වැය කරන අවසන් දිනය බවට මා තීරණය කලෙමි.

මා ඈට ඒ දිනයට පෙර මේ සම්බන්ධව කතා කල හැකි දෙයක් තිබේ නම් කතා කරන ලෙස දැනුම් දුන්නෙමි.ඉන් පසු ඒ පිළිබඳ කතා නොකරන බවටත් නැවත කතා කරන්නේ නම් ඒ කතා කරන්නේ යහලුවෙක් ලෙසම පමණක් බව ඈට පොරොන්දු විය.(මා කිසි කලක පොරොන්දු කඩ නොකරන බව මගේ සමීපතම මිතුරනුත් ඈත් හොදින්ම දනී.)

නමුත් ඈ එයට දුන් ප්‍රතිචාර නොදුන්නාය.මට මගේ උපකල්පනය මත එල්බගෙන ඈට පෙම්වතියගේ භූමිකාව අහිමි කරන්නට මට සිදුවිය.මෙයින් මා අප්‍රමාණ වූ අත්දැකීම් ප්‍රමාණයක් ජීවිතයට එකතු කර ගතිමි.එය මට කවදා හෝ ඉදිරියේදී උපකාරී වේ යැයි මට සිතෙන්නෙමි.එයින් පසු ඈට මා ලියුමක් ලිව්වෙමි.ඒ වනවිට ඈ ඇගේ වත්පොත නැවත සක්‍රීය කොට තිබුණි.කුමන හෝ හේතුවක් නිසා ඈ එහි තිබූ වදනක් වැරදියට වටහා ගෙන මා ඇගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කොට තිබුණි.එයින් මෙය අවසන් විය.“සුදු කලු සහ අළු “ වල මා ලියන ලද දිගම සටහන් මාලාවද විය.෴

පසුවදන

මෙහි තුන්වැනි කොටස පලවී දින කිහිපයකට පසු ඇගෙන් නැවත මට ඇමතුමක් ආවේය.(හරියටම එය අප කතාබහින් ඉවත් වී මාසයක් ගෙවී ගිය තැනය..).මා මෙහි තබන සටහන් සියල්ල මගේ වත්පොත් බිත්තියට මුසු කලෙමි.එපමණක් නොව මගේ මිතුරන් නොවන අයෙකුට වුවද එහි ඇති දේ නැරඹීමට හැකි සේ කටයුතු සකස් කලෙමි.ඒ ඈ කවදා හෝ මෙය දකීවි/බලාවි යැයි මට සිතුනු නිසාය.

මා සිතූපරිදිම ඈ මෙය කියවා තිබුණි.

“මං මේ වෙච්ච සිද්ධිය මගේ හොදම යාලුවෙක් එක්ක කිව්වා.එයා ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක්කෙනෙක් එයා කිව්වා ඔයාගේ වෝල් එක බලන්න කියල ,අර සුදු කලු කියල එකක් ලියන්නේ ඒකේ ඔයා ලියන්නේ මං ගැන නේද?“

“ඔව් “ මා කීවෙමි.

“ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කලාට ඔයා තරහද දන්නේ නෑ“
“පිස්සුද මං මොකටද තරහවෙන්නේ“

“මට යාලුවා කිවවේ ඔයා ඒ සිද්ධිය නිසා මගෙන් පළිගන්න මේක ලියනව කියල“

ඈ වෙනදාට වඩා අමුතු ලෙස මා සමග කතා කලාය.ඈ මට ඇමතුයේ මගේ මුල් නම් දෙකම කියමින්ය .මේ ඈ කතා කරන්නේ ඇගේ මිතුරියගේ මෑනීමකට(Manipulation) හසුවීමෙන් බව මට වැටහී ගියේය.(එලෙස මට අමතන්නේ මා දන්නා ඒත් මා හරියටම නොදන්න අයවලුන් බව මා දනිමි)

“මං කවුද කියල දන්නවනේ “ මා ඇගෙන් ඇසූයෙමි.
“ මං අද වෙනකම් ඔයාට වචනයකින් වත් කරදර කරේ නෑ ඒක මතක තියා ගන්න“

“ඔව් ඒක මං දන්නවා “

“මං ඔයාට ඒ යාලුවගේ නම කියන්නේ නෑ“ දැන් ඈ මා හා සුපුරුදු විලාසයෙන් කතා කරයි.

මට ඇගේ මිතුරියගේ නම අවශ්‍ය නොවූවත් මා ඇගේ මිතුරිය කවුද යන්න දන්නා බව ඈට මතක් කරන්නෙමි.මට ඇගෙන් පළිගැනීමට නම් මේ ආකාරයට සටහන් තැබීමේ කිසිදු වුවමනාවක් නොමැති බව මෙන්ම එසේ කිරීමට අවශ්‍ය වූවා නම් ඇගේ සයිබර් අනන්‍යතාවය මුලුමනින්ම කණපිට ගැසීමේ හැකියාවෙන් මෙන්ම දැනුමින්ද මා එකලද  සන්නද්ධ වී සිටි බව ඇගේ මිතුරියට නැවත නැවත වාරයක් මතක් කරන්නෙමි.

අදටද ඈට මා ආදරය කරන්නෙමි(ප්‍රේමය නොවේ)අදටද මගේ උරහිස ඈට හිමිය.ඒ හිමිවන්නේ ඈට මා පෙම් කල නිසා නොව ඈට මගේ යෙහෙලියකටත් වඩා සහෝදරියකට මෙන් මා සලකන නිසාවෙනි

ප්‍රේමය පූජනීයය ,පාරිශුද්ධ යැයි හැදින්වීම විවාදාපන්නය.මන්ද බොරුවට ප්‍රේම කිරීම හුදු වදනක් ම පමනක් වන බැවිනි.බොරුවට ප්‍රේම කිරීමේදී එයින් ප්‍රේමය පෑළ දොරින් නික්මී ගොස් අවසන්ය෴.

Wednesday, January 12, 2011

උඹ ලියන්නේ ජීවිත කතාවද?

මීට දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් මගෙන් පැනයක් ඇසුවේය.
“උඹ ඔය ලියන්නේ ජීවිත කතාවද?“
මා එයට සිනහවකින් පිළිතුරු දුන් නමුදු එය මෙහි සටහන් තැබීමට තරම් වූ ප්‍රස්තූතයක් බව මට හැගුණි.
මට ස්වයංලිඛිත චරිතාපදානයක් බිහිකිරීමේ කිසිදු වුවමනාවක් නොමැත.මා එතරම් අධ්‍යයනය කරන්න තරම් වැදගත් අයෙක් නොවෙමි.මේ ගෙවීයන්නේ මගේ විසිතුන්වැනි වසරය,ආසන්න වශයෙන් මා මේ වනවිට මගේ දිවියේ තුනෙන් එකක් ගෙවා දමා හමාරය.(මෙය භාගයක් ද තුන් කාලක්ද යන්න සොබාදහම තීරණය කරාවි..)එයිනුත් මට විසිවසරක මා අත්විදපු දෑ ඉතා නිවැරදිව මතකය.
ඉන් බොහෝ දෑ අන් අයට තම ගමන් මගේ ඇතිවන කම්කටොලු වල දී උපකාර වේවි.මා මුලින් සිතුවේ මෙහි සටහන් තබන සිද්ධින් වලට මුහුණ දුන් පලමු පුද්ගලයා මම බවය.නමුත් එය තවත් වැරදී ගිය උපකල්පනයක් බව පසක් වූයේ අන් මිනිසුන් මෙවන් දෑ මා සමග පවසන විටය.
මා අත්විදි දෑ මෙහි සටහන් ලෙස තබන්නේ මේවා කියවා “සුසුම් හෙලීමට හෝ සිනාසීමට“ පමණක්ම නොව ලෝකයේ යථාර්තය සොයාගැනීමේ මග සලකුණු බිහි කිරීමේ අටියෙනි.
මා යථාර්තය ලියන්නට වෙරදරමි.එය කොතරම් තාත්විකව ලිවීමට හැකිදැයි මා  නොදනිමි.මෙහි තබන හැම වදනකටම සාහිත්‍ය මුසු වීම අවිඥානිකව මවිසින් කරන්නකි.එයින් යථාර්තය දුහුල් රෙද්දෙන් වැසීයාම ගැන සියල්ලන් කමා කරත්වා!!!෴

Monday, January 10, 2011

මටත් හදවතක් ඇත!!!(සිව්වැනි කොටස)

මා එකල ප්‍රේමයට සුහුඹුලෙකු වූ බව ඇත්තය.දැනුදු එහි මහා වෙනසක් නැත යැයි මා සිතමි.දිනෙන් දින මුහුකුරා වැඩුණු මේ සම්බන්ධය කෙසේ ඇතිවූවාදැයි මට අදට ද ගැටළුවකි.
“අපි ඉස්කෝලෙදි වචනයක් වත් කතා කරල නෑ නේද? “
“ඔව් ඒක තමයි මටත් හිතා ගන්න බැරි“ මා දිනක් ඈ සමග පැවසීමි.
images (3) ඒ දිනවල මෙය ප්‍රේමයද නැත්නම් වෙන කුමක් හෝ දෙයැක්දැයි නිගමනය කිරීමට මා මැළිවිය.උදක්ම එය මගේ නොහැකියාව වන්නට ඇත.මුලු ජීවිතයම මනසට භාර දී කටයුතු කල මට මෙවන් හැගීම් ආගන්තුකය,එනිසාම මා ඒ ගැන වැඩිපුර තැකීමක්ද නොකලෙමි.
දිනක් ඇගේ දුරකථනය විසන්ධි ව තිබුණි.මෙය නොකඩවා දින දෙක තුනක් පවතින්නට ඇත.මට කල හැකිව තිබුණේ කෙටි පණිවුඩයක් යැවීමෙන් දුරකථනය නැවත පනගැන්වෙන වේලාව දැනගැනීම පමණි.එය දින දෙක තුනක් වූව ද මට සතියකට සමානය.කුමන හෝ හේතුවක් නිසා මට දැනුණු පාළුව තීව්ර වන්නට විය.
“ආ දැන් දැනෙනව ද කොල්ලට අමාරුව ? “ මිතුරන් මට සමච්චල් කරයි.
මා සිතුවේ ඒ දිනවල ඈ අසනීප වී සිටි බවය.(වරක් එසේ ද වූ බැවින් මෙවරද එසේ වන්නට ඇතැයි මා උපකල්පනය කලෙමි).නමුත් කෙටි පණිවුඩ ලැබුණු බවට ලැබෙන තහවුරු කිරීමේ ලිපියේ ලැබුණු වේලාවන් දෙස බලන විට මගේ පලමු උපකල්පනය වැරදී ගියේය.
කෙසේ හෝ ඈ පසුව මා ඇමතුවාය(එය වත්පොත හරහාද දුරබනුවෙන් ද යන්න මට මතක නැත).
“කොහෙද ගියේ?“
“ගෙදර ගියා “ මට සියුම් කෝපයක් ද ඇතිවුණි.
“මං හිතුවේ අසනීප වෙලා ඇති කියල“
“පොඩ්ඩක් කියල යන්න එපැයි“
“අනේ සොරි අනේ “ ඈ පැවසීය.කිසිදු ගනනකට නොගෙන ඈ පැවසීය.(ඕනැවටත් වඩා ස්තූතිවන්ත කිරීමේ මෙන්ම සමාව අයැදීමේ වදන් ද ඇගේ වදන් මාලාවේ සුලබය)
ඈත් සමග මෙසේ කතා කලද මගේ සීතල ව තිබූ හදවත කෙමෙන් කෙමෙන් උණූසුම් වන බව මට හැගීගියේය.
“යකෝ ඕක තමයි ආදරය කියන්නේ ඕක පිළිගනින්“
“පිස්සුද මේක තවත් ආකර්ශනයක් විතරයි“
“බලපන් දැන් උඹට ඒ කෙල්ල දවසක් කතා කලේ නැත්තම් පාලුයි නේද?“
“කවද්ද උඹ එහෙම කවුරුත් එනකං බලාපොරොත්තුවෙන් හිටියේ?“
මගේ හදවතත් මනසත් එසේ දවස පුරා වාද කරයි.හදවතේ එක් පැනයකින් මගේ මනස නිරුත්තර විය.නැවතත් අපේ මුල්ම හමුවීමේ සිට සිදුවූ සියලු සිද්ධින් මා සාවධානව විශ්ලේශනය කලෙමි.එතකොට මේක දෛවයද ? මා මගෙන් ම ඇසූයෙමි(මා දෛවය තමන් විසින්ම ලිවිය යුතු බව අදහන්නෙකු වූවත් මෙය විවාදාපන්නය).
“කවුද දන්නේ බඹා කොටපු එක්කෙනාද කියල ? “ දිනක් මගේ පාසල් කාලයේ මිතුරෙක් මා සමග පැවසීය.
“මං දන්නෑ බං ඕව “
“මේ එයා දැන් ලස්සන වෙලා නේ බං“ මගේ මිතුරා පවසයි
“මට ඒක වැඩක් නෑ බං,ගතිගුණ තමයි හොද “ මා පැවසීය.
මා ඇගේ දුටු සුවිශේෂම ලක්ෂණය වූයේ මා සිතන විලාසයෙන්ම ඈ ද සිතීමය.මට එකල එය විශ්මය ගෙන දෙන්නක් විය.මා කිසිවිටෙක එසේ චින්තන විලාසයක් ඇති තවත් පුද්ගලයෙකු මෙලොව සිටී වි යැයි කිසිදා සිතුවේ නැත.
මේ කෙටි කාලය තුල මගේ හදවත මනසේ ඒකාධිකාරය බිද දැමීමට සමත්ව තිබිණ.එය මට තවත් ලෝකයේ අලුත් පැතිකඩක් නිරාවරණය කලාය.
ඈ මට අලුතින් නිරාවරණවූ පැතිකඩෙහි මාර්ගෝපදේශකයා විය.මා ඇගේ සිසුවෙකු විය.
“ඔය කෙල්ලෝ කොල්ලො අතර ඇතිවෙන සම්බන්ධ කිසිම හරේකට ඇති දෙයක් නෑ “
“ නෑ හලෝ ඒක සුන්දර දෙයක් “ ඈ මට පවසයි.
කුමන හෝ හේතුවක් නිසා මා එය පිලිගතිමි.සමහරවිට ඈට තිබූ ලෙන්ගතුකම නිසා වන්නට ඇත.ඇගේ විනෝදාංශය මට විකාරයක් විය .පසු කලෙස මා ඇගේ ආගමනය  නිසාදෝ හින්දි චිතුපට බැලීමට පුරුදුවීය.(එතෙක් මගේ චිත්‍රපටි ගබඩාවේ තිබූයේ සියයට අනූනවයක්ම ඉංගිරිසි චිත්‍රපටි ය එය ඒ දිනවල 150කට මදක් වැඩි වන්නට ඇත).
තවත් දිනෙක නැවතත් හිටිහැටියේම ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීය..෴
ප.ලි –මෙහි යම් යම් කොටස් දැන් මගේ මනස උවමනාවෙන්ම අමතක කරන බවක් පෙනීයයි.මීලග ලිපිය මෙහි අවසන් ලිපිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙහි මල් මිටක් දිස්වන්නේ ඈට කරන තුති පිදීමකට බව මා මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.මේ බ්ලොග් අඩවිය මෙවන් ආකාරයකට ලිවීමට පෙලඹවූයේ ඈ බව මා විශ්වාස කරන්නෙමි.ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසක් යැයි වහරේ තිබුනාට මට එම සංකල්පය වලංගු නොවන බව මා ඇගේ මිතුරියට මතක් කරන්නෙමි…..

Wednesday, January 5, 2011

මටත් හදවතක් ඇත!!!(තෙවන කොටස)

අප දෛනික දුරකථන සංවාද වල නොයෙදුන ද නිතරම පාහේ වත්පොත් සංවාදයන් වල නම් නොවරදවාම යෙදීමේ අවිඥානික පෙළඹවීමක් අප දෙදෙනා තුලම සති කිහිපයක් තුල වර්ධනය වී තිබිණ.සංවාද වල නොයෙදුන දාට මහ මුස්පේන්තු හැගීමක් මා තුල ජනිත විය.කවදාවත් කතා නොකල හදවත ඒ වෙනුවෙන් මනසත් සමග අරගල කරන්නට විය.
images (2) මා ජීවිතයේ තීරණ ගැනීමේදී මගේ මනස මත කොන්දේසි විරහිතව යැපෙන කාලයකි ඒ කාලය(එනිසාම මා ලබාගත් ජයග්‍රහණයන්ද බොහෝය).මෙතෙක් කාලයක් නිදා සිටි හදවතට දැන් ඇති රුදාව කුමක්ද යන්න නිතරම මගේ මනස මගෙන් ප්‍රශ්න කරන කාලයකි එය.නුමුත් අප සතියකට එක් වතාවක් හෝ අපේ අදහස් වදන් වලින් හුවමාරු කරගතිමු.මේ බොහෝ කතා බහ ප්‍රබුද්ධ ඒවා යැයි අදද මට සිතේ.අන්තර්ගතයේ බහුතරය ඕපාදූප වලින් තොර විය.වල් පල් ද නොමැත(ඉදහිට තිබුනා නැත්තේත් නොවේ)අප ජීවිතය ගැන කතා කලෙමු.විවාහ පරිසරය ගැන කතා කලෙමු(පොදුවේ විවාහය යන සංකල්පය ගැන මිස අප ගැන නොවේ,එය අප උවමනාවෙන්ම මග හැරියෙමු එකිනෙකාට නොදැනන සේ..).ධර්මය ගැන කතා කලෙමු.නූතන සමාජ සන්ධර්භය ගැන කතා කලෙමු.දුරබනුවල බැටරිය විසර්ජනය වන තෙක් අප කතා කලෙමු.(අදටද එහි ඇතැම් සංවාද ඇගේ හඩින්ම මගේ මනසේ දෝංකාර දෙයි)
මට අමුතු විපරියාසයක් වන බව මට අනුක්‍රමයෙන් තේරුම් ගියේය.ලෝකය දෙස අමුතු ඇසකින් බැලීසට මා පුරුදු උනෙමි.පාසල් කාලයේ මගේ මිතුරන් ඇති කරගත් හාදකම් දෙස මා බැලුයේ අවඥාසහගතවය .එවන් සම්බන්ධකම් ඇතිවනුයේ හුදු ආකර්ශනය,රාගය වැනි ප්‍රාථමික මනෝමූල වලින් බව එකල මගේ හැගීම විය.(සමහරක් එසේ වීමට ද බැරි නැත !)
ඔවුන් උපකාරක පන්ති වලට යන අතරතුර,පාසල් කොරිඩෝර වල පැය ගනන් මිමුණූ දෑ ගැන දැන ගැනීමේ යටපත් නොකල හැකි කුතුහලයක් එකල පහල විණි.
“මචං මොනාද බං ඔච්චර වෙලා කතා කරන්න උඹලට තියෙන්නේ ?“
“මේං බලපංකෝ මූ “
“උඹත් කවද හරි මෙහෙම වෙච්ච දාට උඹට ඕක තේරෙවි“
ඔහු එසේ කීවාට මට එය අත්දැකීමෙන් තහවුරුවීමට අවම වශයෙන් වසර 4ක් වත් ගතවන්නට ඇත.
පුද්ගල විශ්වාසය මා අර්ථකතනය කරන්නේ අනෙකාගෙන් උපයා ගත යුතු දෙයක් ලෙසය.
දිනක් ඈ,
“ඔයා මා විශ්වාස කරනවද ? “
“ඔව් ඔයා ඒක බොහොම ඉක්මනට හම්බකරගත්තා“ මා පිළීවදන් දුනෙමි.
ඒ පිළිතුර කෙසේ ආවාදැයි මගේ මනස අදටද නොදනී
“දැන් ඔයා මාව විශ්වාස කරනවද? “ මැ ඇගෙන් පෙරලා ඇසීමි.
“ඔව්,  දැන් ඔයාට ඕන කරල තිබ්බ උත්තරේ හම්බුනා නේ “ ෴

Tuesday, January 4, 2011

මටත් හදවතක් ඇත!!!(දෙවන කොටස)

ඒ සරසවියේ අර්බුද මතුවූ කාලසීමාවකි.පරිපාලනයේ අත්තනෝමතික තීරණයක් නිසා පන්ති වර්ජනයකට යාමට ඔන්න මෙන්නය.දිනක් මට ඇගෙන් ඇමතුමක් ලැබුණි.එය හුදෙක්ම සාමාන්‍ය දුර ඇමතුමකි.(සාමාන්‍යෙයන් මෙවන් ඇමතුම් ලැබීම මට සුලබ දෙයකි 99% ම පාහේ පරිගණක දෝශ නිරාකරණයට උපදෙස් පතා පැමිණෙන ඒවාය).
celly.preview “හෙලෝ මගේ ෆේස්බුක් අකවුන්ට් එකට මට ලොග් වෙන්න බෑ“
“ඔයත් එක්ක මොනාද චැට් කලේ?“
“මගේ නම්බර් එක ඇහුවේ “ මා කීවෙමි.මට නං ඒක ප්‍රශ්නයක් නෑ.දැන් මගේ සුපුරුදු දේශන විලාසයෙන් මා ඈට උපදෙස් දුන්නෙමි.ඒ උදෙසාම මට නැවතත් විද්‍යාගාරය වෙත යාමටද සිදුවිය.(පරිගණක ආරක්ෂණ උපක්‍රම පිළිබද මා අතිශයින්ම උනන්දු වන බැවින් මෙවන් අවස්ථා මට අතිශයින්ම වැදගත්ය).
සරසවියේ එදින සවස මහා සභා රැස්වීමකි,අපට පසු දින අර්ධ වාර්ශික පරීක්ෂණයකි!!. කාලය අපතේ නොහැරීමට අප එකග වූ නිසා එයට සහභාගි වූ නුමුත් ,
“මචං හොස්ටල් ඉන්න එපා හොස්ටල් චෙක් කරන්න එනවා“ ඉහලින් පණිවිඩයක් පැමිණුනි.
එකෙනෙහිම අප කන්ඩායමක් පොත්ද පැත්තක දමා කලිසමක් රුවාගෙන පාරට බැස්සෙමු.යන අතරමග නැවතත් මට ඇමතුමක් පැමිණියේය.
“හෙලෝ “
“****** ද කතා කරන්නේ“
“ඔව්“
දැන් අප දෙදෙනා කතා කරයි.
“මං හිතුවේ ඔයාට තියෙන්නේ මහ ගැඹුරු කටහඩක් කියල,ඒත් හරි ෆ්‍රෙන්ඩ්ලි කටහඩක් නේ ඔයාට තියෙන්නේ“ ඈ කියයි.
“අද මහ ජරා දවසක් අනේ“
“ඇයි FB අකවුන්ට් එක හැක් උන නිසාද?“
“ඒකත් එක හේතුවක් තමයි “ ඈ සිනාසෙයි.
මේ කතාබහ එදින පැයකට ආසන්න කාලයක් මහ මගදී පැවතිණි.ඒ වනවිට ගොම්මන් යාමයද පසුවී හමාරය.ඉදිරියෙන් යන මිතුරු රැළගේ ඡායාවද හිටිගමන් අතුරුදන්විය.මදක් විපරම් කොට බලන විට ඔවුන් ලග කඩේකට රිංගා රෑට ආහාරයක් සොයයි.
“ඔයා පස්සෙන් යන්නේ මුරද? “
“ නෑ ඔයත් එක්ක කතා කරනකොට මං පොඩ්ඩක් පහු උනා“ මා කීවෙමි.
මට විටින් විට දෝසමුරයක්ද ඉදිරියෙන් ගිය මිතුරෙකුගෙන් එල්ල විය.
අප දෙදෙනා ඒ පලමු වරට කතා කල දවසය එදා.ඈ පාසලේදී නාට්‍ය වලදී මගේ කටහඩ අසා තිබුණද මා ඇගේ කටහඩට මුල් වරට ඇසුයේ එදාය.අප ඒ වනවිට පාසලෙන් ඉවත් වී අවුරුදු 3කි.ඒ අතර කාලයේ සිදුවු දේ ඈ විස්තර කලාය.මා ද එසේ කලෙමි.
“ඔයා රෑට කාලද?“ ඈ අසයි.මෙම ප්‍රශ්නය මට නුහුරුය.මගේ ජීවිතයේ මගේ මව හැරෙන්නට එසේ ඇසු ප්‍රථම තැනැත්තිය ඈය.මදකට මා නිශ්ශබ්ද වීමි.
“නෑ තාම නෑ“
“ඔයා ? “
“මං කාලා ඉන්නේ “
“හරි හරි එහෙනම් කන්න මං පස්සේ වෙලාවක කතා කරන්නම් “
“බුදු සරණයි ,ගුඩ්නයිට්“
අප සමුගත්තෙමු.ඇගේ සමුගැන්මේ විලාසයද මට ඒ කාලයේ නුහුරුය.එය දෙමුහුන් වූ සුබ පැතුමකි. දැන් මා නැවතත් පියවි ලෝකයේය.
“මොන බම්බුවක්ද යකෝ කරන්නේ ? මල් කඩනව කියල ඔහොමත් කඩනවද?“
“දැං කියපං අපි කොහෙන්ද රෑට කන්නේ කියල?“
මිතුරන් මට ලුණු ඇඹුල් ඇතුව දෙහි කපයි.
“හරි හරි අපි ## කඩේට යමු “ මා කීවෙමි.ඒ වනවිටත් ඔවුන් මා වෙනුවෙන් ඉතුරු කොට තබාගත් කෙහෙල් ගෙඩි දෙක තුනකුත් පාන් භාගයකුත් තිබුණි.(මේ අපූරු සහෝදරත්වය ගැන මා අනිවාර්යෙන්ම ලිවිය යුතුය. එහෙත් එයට තව කල් තිබේ).මගින් නැගගත් බසයකින් අප අදාළ කඩයට ගොඩ වැදුනෙමු.එය ලොරි රථ රියදුරන් වෙනුවෙන්ම වෙන් වූවකි.වෙලද සැලට අවම වශයෙන් වසර හැට හැත්තෑවක් බව අප එහි හිමිකරුගෙන් දැන ගතිමු(එයි වසර සියයකටත් වඩා පැරණි වංගෙඩියක්ද තිබූ බව මට යම්තමින් මතකය).දුර ගෙවා ආවාට එහි කෑම හොදය.බඩ පුරා කෑ අප කිසිවක් නොදන්නා ලෙස නැවත් නේවාසිකාගාරයට පැමිණුනෙමු.(පැමිණි පසු අප තවත් සිද්ධියක් දැන ගතිමු අපේ නඩේ සිටි අයෙක් කැලේ පනිද්දී මාට්ටු වී තිබීමය මෑතක් වන තුරු ඔහුට ‘උතුමාණනි‘ යැයි කියා දැකපු තැන සැලියුට් ගසන ස්වභාවයක් තිබුණි එයත් තවත් කතාවකි) .එදින ඈත් සමග ගතවූ කාලය මට නිමේශයකි.සාපේක්ෂතාවාදය පිලිබද අයින්සටයින් මහතාගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනය මට මතක් වෙයි.
“මහත්මයා කරුණාකර සාපේකෂතාවාදය සරලව කියන්න පුලුවන්ද“
“ඔබ තරුණියක් සමග පැයක් පෙම්බස් දොඩවන විට එය ඔබට දැනෙන්නේ විනාඩි කීපයක් විදියට, ඒත් ඔබ රත්වූ පෝරණුවක විනාඩියක් වාඩිවී සිටින විට එය ඔබට දැනෙනුයේ පැයක් ලෙසය “ එතුමා පිළිතුරු දුනි. ෴
Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.