Friday, December 31, 2010

..මුගන යපි ටරසව වන

෴ක්යදෙ නවෙ ක්ඩවැ ත්ටන්මත 
..ලාවෙ ක්ඩවැ ටකෙලෝ ටටර 
..ක්කටි ඩවැ ත්ළුඅ කිහැතත්ගන්ටප
..දේද්රුවුඅ ත්ළුඅ ටකොතඑ
෴වේනාඋ ක්යයිහ මවළුපා
..වේණාබුති හේඔ ත්කෙතම නරක ම්චච්ඔ
..වේචාච්හිඇ හේඔ ක්යදෙ නයකි ත්යඑ
..වේණාබුති හිගැ හිගැ හේඔ ත්තවදහ
෴නෑ ත්නෙඕ නන්ගනා නගෙදඇ
..නෑ ත්නෙඕ න්නග ගා ******** ටලව ලිල්ස තේඅ
..නෑ ත්නෙඕ වේසේ ජමාස ල්ම ල්හෙකෙ
..නෑ මනෙඕ riaffa ව්ලඉ ලම
෴ටික මරසේ
ල්දන්ක ණුකු
නයෙති තේහි
න්නය ලදිහේ
ක්සස්වැ හම නන්හිව
ප.ලි – මෙහි මුල් පද කොටස (මෙහි හැටියට නම් අවසන් පද ) රංග සහෝදරයාගේ පබැදුමක තිබූ ඒවා වේ.එයම මෙයට නිමිත්ත විය,නව වසරේ මගේ පණිවිඩයද විය.සුපුරුදු විලාසයෙන් බැහැරව සිතුවිලි පබැදීම ගැන සියලු පාඨකයෝ කමා කරත්වා!!!

Friday, December 24, 2010

මටත් හදවතක් ඇත!!!(පළමු කොටස)

වත් පොත

fbවත් පොත මට හමුවූයේ මීට වසර 4ක ට පමණ පෙරාතුවය.ඒ දින වල මෙය මා වැඩි වශයෙන් භාවිතා නොකලෙමි(උදක්ම එහි තිබූ සංකීර්ණ ගතිය මෙයට හේතුවිය).කෙමෙන් කෙමෙන් මෙය මා වැඩි වශයෙන් භාවිතා කිරීමට පටන් ගතිමි.මෙහි භාවිතය වැඩි වූයේ මා සරසවියට ඇතුළත් වීමෙන් පසුවය.එකල එය මට සාමාන්‍ය වෙබ් අඩවියක් වූවත් මීට වසරකට පමණ පෙර මෙහි ඇති ප්‍රතිලාභ තේරුම් ගැනීමට හැකිවිය.එය මා එහි නිතර ගැවසීමේ උත්ප්‍රෙරකය විය.ලොකු ලොකු ඈයින් හදුනාගැනීමේ වඩාත්ම පහසු ක්‍රමය වත්පොත බව මා අදටද විශ්වාස කරමි.එහෙත් මා මෙය තරුණියන් හඹා යෑමේ මෙවලමක් ලෙස භාවිතා නොකලේ අන් කවර හේතුවක් නිසාවත් නොව ප්‍රේමය වැනි හැගීම් එකල මට විකාරයක් ලෙස මගේ මනස සහසුද්දෙන්ම ඔප්පු කර තිබීමය.දන්නා මිතුරු මිතුරියන් මගේ ගිණුමේ මිතුරන් ලෙස සිටියද එය එතනට පමණක් සිමා විය.සරසවියේදී පසු ගිය මාස කිහිපය තුල  මෙයට දිනපතා ඇතුලු වීමට තරම් මා එයට ඇබ්බැහි වීමි.සරසවියේදී මා මෙහි සංවාද කවුලුව විවෘත කිරීම සදහා මගේ දුරබනුවට මෙවලමක් ස්ථාපනය කර ගතිමි.එයින් මා නිතරම පාහේ වත්පොතේ සංවාද සේවාව සමග සම්බන්ද වුනෙමි.
දිනක් මගේ ඥාතී සොහොයුරියක්(ඈ එනවිට මා හට අතිශයින්ම සමීපව සිටි තරුණියය).
“මම ඔයාගේ යාළුවෙක් එක්ක චැට් කරනවා“
“කවුද?“ මා දුරබනුවෙන් යතුරු ලියනය කලෙමි.
ඈ මට අධි ඈදුමක් එව්වාය.
“මම ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ නම එවන්න“
“********* **************“
ඈ මට අසා හුරු නමක් එව්වාය.මෙය සාමාන්‍ය කථාබහක් විය.දින දෙකකට පසු මට එම නම මතක් විය.නිකන් ඉන්න බැරි කමට මා ඈව වත් පොතේ සෙව්වෙමි.සෙව්වා පමණක් නොව ඇගෙන් “මිතු දම ඉල්ලා “ සිටියෙමි.එදින සවස මා වත් පොතට දුරබනුවෙන් සම්බන්ද වන විට ඈ මගේ මිතුදම “පිළිගෙන“ තිබුණි.සාමාන්‍ය ස්වරූපයටම මා සංවාදය ඇරඹූයෙමි.ඈද ඉක්මනින් මට ප්‍රතිචාර දැක්වීය.මට ඈ පාසල් කාලයේ දී මුණ ගැසී තිබුණි.(කුමන හෝ හේතුවක් නිසා හෝ මට ඇගේ වත ද මුල් නමද මතක තිබිණි.)මා විටින් විට ඇසූ ප්‍රශ්න වලින් මේ මා සිතන පුද්ගලයාම බව මට වැටහී ගියේය.
එතැන් පටන් මෙම සංවාදය දිනපතා ම සිදුවිය.(මිතුරන් පවසන අන්දමට මගේ දුරබනුවේ මකුලු දැල් කැඩී ගියේද ඉන් පසුවය….).දිනක් ඈ මට ඇගේ ජන්ම පත්‍රය පරික්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියාය.ඒ වන විට මා ජ්‍යොතිශය හදාරන බව ඈ දැන සිටියාය.ඒ වන විටත් මා ඇගේ ඇමතුම් අංකය පවා නොදැන සිටියෙමි.
“මම දැන් කෑම ගන්න ගමන් ඔයාට පුළුවන් නම් මට ඒක ටෙක්ස්ට් කරන්න “ යැයි කියා මා මගේ ඇමතුම් අංකය ඈට ලබා දුනෙමි.එසැනින්ම ඈ මට කෙටිපණිවිඩයක්ද එව්වාය.නිවසට යන තෙක් මට හදහන් සෑදීමේ අවකාශ අඩුය .සති අන්තයේ නිවසට ගියමුත් මට ඇගේ හදහන පරීක්ෂා කිරීමට සැබැවින්ම අමතකව ගියේය.එනමුත් ඒ අතර තුරද අප දෙදෙනා අංකිත සංවාද ඕනෑ තරම් පැවැත්වීය.ඈට නිවාඩු තිබීම එය වඩ වඩාත් පහසු කලේය.එකල ඒවා සාමාන්‍ය සංවාදයය.ඉන්පසු පසු කලෙක සංවාදයට නොපැමිනොත් මට මහ පාලු ගතියක් සිතේ දැනෙන්ට විය.(ඈ ද වරක් එසේ කීවා මට මතකය).෴
මතු සම්බන්ධයි(“වත්පොත ගිණුම හැක් කිරීම සහ පළමු දුර ඇමතුම“ ලබන ලිපියෙන්)

Wednesday, December 22, 2010

මටත් හදවතක් ඇත!!!(පූර්විකාව)

පූර්විකාව


මේ කතාව සාමාන්‍යයයෙන් මා ලියන සටහන් වලට වඩා තරමක් දිගු වීමට පුළුවන.එහෙයින් මා මෙයට පූර්විකාවක් ලියන්නෙමි."සුදු කලු සහ අළු" හි තිඹිරිගෙයද මෙය වේ.මෙය ලියන්නේ මගේ හිතේ ඇති දේ කීමට පමණක්ම නොව මෙවන් සිද්ධි දාමයන් වලට මුහුණ දෙන කුළුදුල් අයට තවත් අත්දැකීමක් ඉතිරි කර දීමටය.විටෙක අයෙකුට මෙය හුදු කල්පිතයක් යැයි සිතෙන්නට ද පුළුවන,ඒ තරම්ම මෙය සුන්දරය නමුත් අවසානය කිසිවෙකුත් නොසිතන දෙයකි.ලෝකය පුදුමාකාරය,එහි සිටින මිනිසුන් ඊටත් වඩා පුදුමාකාරය,එහි සිටින ගැහැණුන් ඊටත්ම වඩා පුදුමාකාර බව මට වැටහී ගියේ මේ සිද්ධියට මා මුහුණ දීමෙන් පසුව ය.ලෝකයේ විවිධත්වයම එහි සුන්දරත්වයේ ආභරණය බව මාගේ හැගීමය.

අයෙකුට මෙය අතිශය සාමාන්‍ය සිද්ධියක් වීමට හොදටම ඉඩ ඇත.නමුත් එසේ සිතන අයටද කවදා හෝ දවසක මෙය අත්දැකීමට සිදුවනු ඇත.෴

Sunday, December 19, 2010

මාමා බෙහෙත් අරන් නැද්ද?

පසුගිය දිනෙක ගමේ හන්දියේ කඩයට ගිය විට මට හිතවත් මාමා කෙනෙක් මුණගැසුණි.

“ආ.. පුතා කවද්ද ආවේ“
“ඊයේ හවස මාමා“ මා කීවෙමි.

“දැන් කැම්පස් හරි සවුත්තුයි නේද?“ මා කිසිවක් නොකීවෙමි.

“අපි නං කැම්පස් කාරයන්ව ගනන් ගන්නේ නෑ.ඉස්ට්‍රයික් කොර කොර පෙලපාලි යනව.“
ඒ කතාවේ සත්‍යයක්ද නැතුවා නොවේ.එහෙයින් එයටද මා කිසිවක් නොකියා මද සිනහවකින් ඔහුට පිළිතුරු දුන්නෙමි.

ටික වේලාවක් යනවිට මෙම කතාබහ ඕනෑවටත් වඩා ඇදී ගියේය.ඒ වන විටත් ගමේ සරසවි වරම් හිමිකර තිබුණේ මාත් ඇතුළුව පස් දෙනෙකු පමණි.

“මාමා කවදාවත්ම බෙහෙත් අරන් නැද්ද?“

“මොකෝ මං නොගන්නේ මං බෙහෙත් අරන් තියෙනව“

“ඒ බෙහෙත් ගන්නෙත් මාමා මෙච්චර වෙලාවක් කෑ ගහපු කැම්පස් කාරයන් ගෙන්ම තමා“

මගේ කීමෙන් ඔහු නිරුත්තර විය.මේ වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට මා අකමැති වෙමි.නමුත් මා අත්දැකපු දේ මෙයය.මා සිතන අන්දමට දිවයිනේ අනෙකුත් ප්‍ර දේශ වලද මෙය අඩු වැඩි වශයෙන් තිබෙනු ඇති බව මගේ හැගීමය.෴

Friday, December 17, 2010

ජසයා හා ලෙන්චිනා….

පාසල් කාලය කාටත් සුන්දර කාලයක් මෙන්ම මටද එසේම විය.පාසලේදී නාට්‍ය වල රගපෑම මා කුඩා කාලයේ සිටම කලේය.ඒ සදහා අපට නඩයක්ද සිටියේය,සෑම නාට්‍යයකම පාහේ මා කොහේ හෝ මුල්ලක සිටීම එකල සහෝදර සිසු සිසුවියන්ට සාමාන්‍ය දසුනක් විය.අප නඩය සාමාන්‍යෙයන් සිංහල සාහිත්‍ය සමිති වල සභාපතිවරුන්ගේ ගැලවුම් කරුවන් වූයේය.ඒ අන් කවර හේතුවක් නිසා නොව පෙර සූදානම් කර ගත් පරිදි ඔවුන්ට අංග ඉදිරිපත් කර ගැනීමට නොහැකි වූ විට අප ව ඔවුන්ට සිහි වීමය.ක්ෂණිකව අපූරු අදහස් නිර්මාණය කල හැකි දෙදෙනෙක් අප නඩය සතු විය(අද වන විට එක් අයෙක් සීතල රටකය,අනෙකා පියාසර නිලධරයෙකි).ඔවුන් ගේ මුල් අදහසට අනුව නිර්මාණය වන නාට්‍ය අවසානයේ නතර වන්නේ ප්‍රේ ක්ෂක පිරිස සිනා සයුරේ ගිල්වමිනි.

images (1)

මතකයේ හැටියට මා උසස් පෙල පන්ති වල මුල් වසරේ අගභාගයේ දී විට යුතුය.ඒ වනවිට අපේ හැකියාවන් ඔප දැමීමට ගුරුවරුන් කිහිප දෙනෙකු ද සහය වූවේය.ඔවුන්ගේ පිහිටෙන් අප සතු වූ ජන්ම ගත කුසලතාවයන් තව තවත් ඔප විය.විශේෂ අවස්ථාවක් සදහා “ජසයා හා ලෙන්චිනා“ නාට්‍යය රග දැක්වීමට මට සිදු විය.එය මා විසින් කල ප්‍රථම අභිනයද විය.අධ්‍යක්ෂණයත් වාදනයත් සිදුකල මගේ මිතුරා අතිවිශිෂ්ඨ අන්දමින් එය ඉටු කලේය.

ඒ නාට්‍ය දර්ශනයට පෙර අවශ්‍ය කරන ඇදුම් වලින් සැරසීමට මාත්(ජසයා) මගේ මිතුරාත්(දුෂ්ඨ චරිතය රගදක්වන –අද ඔහු මැවිසුරුවෙකි)නේපත්‍යාගාරයට ගියෙමු.

“මචං මම සරම අදිනව කලිසම දණිහ ගාවට කොට කරල“ මා කීවෙමි.
“මට නං බෑ බං එහෙම අදින්න මං නිකම්ම සරම අදිනව“ ඔහු කීවේය.

ඇදුම් වලින් සැරසුණු අප දැන් නාට්‍ය රගදක්වයි.සම්පූර්ණයෙන්ම බෙර හඩට පාද හසුරවමින් කල යුතු මෙය අපූරු අත්දැකීමක් විය.ඒ නාට්‍ය යේ උච්චතම අවස්ථාවයි,එක් වනම ප්‍රෙක්ෂකාගරයෙන් හූ හඩක් නැගුණි.මෙවන් දේ සිදුවීම සුලභ වූත් මා එවන් දේ සාමාන්‍යෙයන් බලාපොරොත්තු වන දේවල් වූවත් ඒ හූ හඩ අනුක්‍රමයෙන් වැඩි විය.මගේ ඇදුමේද වෙනසක් සිදු වූ බව මට දැනුණි.තිරය පිටුපස සිටි බෙරය වාදනය කල මගේ මිතුරාත් ආචාර්්‍ය වරියත් “සරම සරම “ යැයි මිමුණුවෝය.එතෙක් මට මගේ සරම අඩක් ගැලවී යටින් තිබූ සුදු දිගුකලිසම පෙනෙන බවක් නොදැණිනි.දැන් කල යුතුව තිබෙන්නේ එක්කෝ නාට්‍යය එතැනම හමාර කිරීමය,නොඑසේ නම් සරම ඇදගෙන නැවත(කිසිවක් නොසිදුවුණාක් මෙන්)ඉතුරු ටිකද රගපා සුපුරුදු ලෙස නාට්‍යය හමාර කිරීමය.මා දෙවන විකල්පයට ගියෙමි.සාමාන්‍ය විදිහටම මා නාට්‍ය යේ අවසන් ජවනිකාවද රගදැක්වීමි.දැන් ප්‍රෙක්ෂකාගාරයේ බහුතර පිරිසකටම මගේ සරම වේදිකාව මැද්දේ ගැලවීමේ සිද්ධිය ස්වල්ප වේලාවකට අමතකව තිබුණි.බලාපොරොත්තු වූ ලෙසම අත්පොලොසන් නදත් සමග අප අචාර කොට වේදිකාවෙන් බැස ගතිමු.මේ අතර මගේ මිතුරා(දුෂ්ඨ චරිතය රගපෑ)….

“මචං හොද වෙලාවට උඹේ සරම ගැලවුණේ මගේ උනානං මං ඉදල ඉවරයි“ මැවිසුරු මොලයේ තාර්කික බව මා එදා දැනගතිමි.

Monday, December 13, 2010

නිරුත්තර වීමි…..

මගේ මිතුරියක් මෑතකදී මගෙන් අපූරු පැනයක් මිතුරු හවුල් සංවාදයකදී ඇසුවාය.එවන් ආකාරයේ පැනයක් ඇසූ දෙවන වතාවද එය විය.

“ඔයා ලස්සනට ලියනවා” මා හූ මිටි තැබීමි.

“කොහොමද එහෙම ලියන්නේ,ලියන්න මාතෘකා හොයාගන්නේ”

“මට නං හිතා ගන්නවත් බෑ”

ඈට තියා මෙය මාහටවත් තේරුම් ගත නොහැකිය.ඕනෑම අයෙකුට මෙය ආරම්භ කර ඇති දිනය ඔක්තෝබර් මාසය බව පෙනී යයි.එහෙත් මා මෙහි කරුණු ලියන්නේ දෙසම්බර් මැද භාගයේදීය.ඒ වනතුරු මා මෙය භාවිතා නොකලෙමි.මෙයට හේතු වූ එක කරුණක් ඇතැයි මට සිතේ. ඒ පිළිබද ලිවීමට තවමත් කල් වැඩි බව මගේ හදවත පවසයි.නමුත් මා එය ලියන්නෙමි.

මා මගේ මිතුරෙකුට පැවසුයේ ලෝකය දිහා අමුතු විදියට බලාපන් කියාය.ඒ අවදියේ මා එසේ කීවාට මා එසේ කොට තිබුණේ නැත.ලෝකයේ තිබෙන විෂමතාවයම එහි සුන්දරත්වයේ රහස බව විටෙක මට හැගී යයි.ලියන හැම දෙයක්ම සුදු කලු සහ අළු වලින් හිතේ මවා ගැනීම පහසුය,සරළය,පැහැදිලිය.වෛවාරන්න ලෝකයේ නොපෙනන යථාර්තයද එය බව මට හැගේ.

මෙහි ඇත්තේ කලු සුදු රෑපය,ඇත්තේ අත්දැකපු දේය,ඇත්තේ ජීවිතය නැමැති එකම ප්‍රවර්ගයය.

මා හරියට හෙළ බස ද නොදන්නෙමි,ඉංගිරීසියද නොදන්නමි.දන්නේ කෙසේ හෝ දැනෙන දේ ,දන්නා දේ “හරියට නොදන්නා” බසකට පෙරළීම පමණි.

Friday, December 10, 2010

අහන් ඉන්න….අහගෙන ඉන්න…

පෙර දින රාත්‍රියේ මුහුණුපොත පිරික්සන විට මාගේ මිතුරියක් එක් කොට තිබූ යූ ටියුබ් වීඩියෝවක් මා හට මුණ ගැහුණි.නිකමට මෙන් මා එය විවර කොට බැලූවිට තිබුනේ අවතාර් චිත්‍රපටියේ කොටස් එකලස් කොට නිමවන ලද කෙටි දර්ශන පෙලකට පසුබිම් ගායනයක් යොදා ඇති වීඩියෝවකි.අතිශයින්ම සුන්දර තනුවකට සුන්දර වූ ගැහැණු කටහඩක් එයට එක් වී තිබුණි එම ගීයට.

අහන් ඉන්න….
අහගෙන ඉන්න….
මගෙ හිත මොනවද..
මුමුණනවා.

ලය පුරා නෙක නෙක පාටින්images
මුදු මල්පෙති ඇහැරෙනවා..
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
මල් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලි සිලියේ හමන සුළග
කොදුරන්නේ අපටමයි..
සතුට මිසක දුක මොකටද..
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි….

මුල් ගායනය:-ඉන්ද්‍රචාප ලියනගේ/පසු ගායනය :-මේකලා ගමගේ
සංගීතය:-රුවන් ශ්‍රී වල්පොල / පද රචනය:-සෝමලතා හේරත් මැණිකේ.

ඇත්තටම මේ ගීතය ලියල තියෙන්නේ දෘශ්‍යාබාධිත උදවිය වෙනුවෙන්.මොහොතකට මා මිනිත්තු 5කට මගේ ඇස් දෙක වහගෙන අන්ධ මිනිසෙකුට ලෝකය දැනෙන හැගෙන හැටි සෙවීමට අසාර්ථක උත්සාහයක් ගතිමි. මුලු ජීවිත කාලයටම අදුරු ලෝකයක තමන්ගේ හමට දැනෙන,කණට ඇහෙන,නහයට දැනෙන සංවේදනයන් වලින් ඔවුන් අමුතුම ආකාරයේ සිතුවමක් ලෝකය ගැන මවා ගන්නා හැටි මා අර්ධ වශයෙන් වුව සිතා ගත්තෙමි.

ලය පුරා නෙක නෙක පාටින්
මුදු මල්පෙති ඇහැරෙනවා..
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
මල් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

 

මේ ගීතයේ කියැවෙන්නේ ද එයයි.ඔවුන්ගේ සියලු සංවේදනයන් භාවිතා කරමින් ඔවුන් ලෝකය පිළිබද නිමවන සිතුවම අපූරු බව මට හැගුණි.

තහවුරු නොවූ තොරතුරකින් මා දැන ගත්තේ මෙහි පසු ගායනය කරන තරුණිය ද දෘශ්‍යාබාධිත අයෙකු බවයි.

වීඩියෝව සදහා

Thursday, December 9, 2010

මගේ ජීවිතයේ හමුවූ විශිෂ්ඨතම ගැහැණිය

අද දින මා හට ජීවිතයේ සුවිශේෂතම දිනයකි.ඒ අන් කවර දෙයක් නිසා වත් නොව මීට වසර හතරකට පෙර අද වන් දිනෙක මා ආදරණීය මෑණියන් මෙලොවින් සමුගැනීමයි.ඒ වන විට ඈ 59 වැනි විය ඉක්මවූවා පමණි.හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඈ මිය ගිය දින මගේ මතකයෙන් කිසිදා අතුගා නොහැකි සංසිද්ධියක් බව මා වටහා ගත්තේ විටින් විට ඈ සිටියා නම් අද කොපමණ සතුටු වන්නේ ද යන්න මෙනෙහි කරන විටයි.

ඈ මිය යන විට මා උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියෙමි.මා හට ඇයට දිය හැකි එකම වස්තුවත් ත්‍යාගයත් මා ලාංකික සරසවියකට ඇතුලත් වීම බව ඈ කිසිදිනෙක මා හට නොපැසුවද ඈ විටින් විට ඒ බැව් ඇගවූවාය.මා එය හදුනානොගත් අධම පුත්‍රෙයක් නොවූවත් පරිගණක විද්‍යාවට ඒ දවස් වල පටන් තිබූ අධික ඇල්ම ඇයගේ බලාපොරොත්තුව ඉටුකිරීම වසරකින් පමා කලේය.කුඩා කල පටන් ඈ කිසි විටෙක මා ඉදිරියේ මගේ දස්කම් අන් අයට නොකිව්වාය.මා නොසිටි තැනක ඈ අනිත් අයත් සමග මා හට ජයග්‍රහණයක් නොවූ දෙයත් මහත් වූ සතුටින් අන් අය සමග කතා කරන හැටි විටෙක මා පුදුමයට පත් කලේය.මෑතක් වන තුරුම මා හට ඇගේ මෙම පිලිවෙත තේරුම් නොගැනීමට හැකි වූවත් ඈ කල දේ නිසා මා තව දුරටත් අභිප්‍රේරණය වූ බැව් මා හට පසක් විය.ඈ කිසි විටෙක මා මුරුංගා අත්තේ තබා අන් අය සමග මා පිළිබද පුරසාරම් නොදෙඩුවාය.මා මධ්‍යම පාන්තික තරුණයෙක්මි.නෑ නොකියා ජීවත් වීමට අවැසි සෑම දෙයක්ම පාහේ මාගේ මව්පියන් මා හට සපයා දී තිබුණි.සල්ලිකාර පවුල්වලට සාපේක්ෂව එය ඉතා කුඩා දෙයක් වුවද නිරපේක්ෂව එය මට ඉහටත් වඩා උඩින්ය.අපේ නිවසේ පොලොවට බොහෝ නිවස් වල මෙන් පිගන් ගඩොල් අල්ලා නොමැත.මීට වසර කිහිපයකට පෙර ඒ සදහා නිරායාසයෙන්ම  නිවස ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ තිබ්බත් මෑතකදී මා පියා මා සමග පැවසූයේ ගෙදර බිම පිගන් ගඩොල් ඇල්ලීම ට ඉඩ නොදුන්නේ මගේ මව බවයි.එයට හේතුව ලෙස ඈ දක්වා තිබුණේ හැමදේම දරුවන්ට අතට පයට ලබා දුන්නාම ඔවුන්ට මේ ලෝකය වෙනුවෙන් දෙයක් කිරීමට ඉඩක් නොවන බවයි.මේ විකාර කතාව තේරුම් යාමට මා හට ඈ වියෝ වී වසරක් දෙකක් යන විට අත්දැකීමෙන්ම ඔප්පු වීය.

පියාට වඩා මගේ පාසල් කටයුතු දෙස බැලුවේ මගේ මවය.මගේ පාසල් යන මුල් කාලයේ ඈ මා අතට මුදලක් දෙයි.එය හදිසියේවත් පාසල් වෑන් රථය ආවේ නැත්තම් නැවත ගෙදර යාමට ඇවසි මුදලට වඩා කුඩා වශයෙන් වැඩි වූ මුදලකි.ඈ මට දිගු කලිසම් අදින දවස් වල දුන් මුදල රු20 ක් යැයි මා හට මතකය.පසු කාලයේ ඈ මෙම මුදල් තහංචිය මා වෙත නොදැමූ අතර අවශ්‍ය ඕනෑම මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ අනුදැනුමින් තොරව වුවද රැගෙන යාමට පවා අවසර දී තිබුණේ මා දෙමව්පියන්ගේ විශ්වාසය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් ඔවුන්ගෙන් උපයාගෙන ඇති බව ඔප්පු කරමිනි.මගේ පාසල වෙත ඈ හිටපු ගමන් කඩාපාත්වන පුරුද්දක් ඇගේ තිබුණාය.මා හට උගන්වන සියලු ගුරුවරුන්ගේ සියලු විස්තර ඈ හොදින් දැන සිටි ඇය විටෙක මාව වත් හමු නොවී මගේ පිළිබද විස්තර ගුරුවරුන්ගෙන් අසා දැන ගනී.ඈ එක් දිනක මෙලෙස පැමිණ ගොස් නිවසේදී “මම අද ඉස්කෝලෙට ගියා මම ඔක්කොම අහගත්තා “ යැයි පැවසූයේ මා මවිත කරමිනි.ඈ එදා මා හට “පුතේ මං උඹට මල් තියල වදිනවා “ යැයි ඇගේ නෙතගට කදුලු බිදුවක් ද ගෙන කීවේ ඇයි දැයි යන්න මා හට අදටත් කුතුහලය දනවන ප්‍රශ්නයකි.මගේ මුලු ජීවිත කාලයටම ඈ මෙලෙස දෙවරක් මා වෙත පැවසු වාය.”මොන අම්මද තමන්ගේ පුතාට මල් තියල වදින්නේ?” යන පැනය තාමත් මා සිතේ දෝංකාර දෙයි.

පුද්ගල විනය ගැන ඈ වැඩි වශයෙන් තැකුවාය.උදයේ වෙලාවට නැගිටීමට මා හට නිතැතින්ම හුරු වූයේ අන් කවර නිසාවත් නොව එසේ නොවුණහොත් මගේ නින්ද කැඩීයන්නේ ඇද වෙතට විසිවෙන වතුර බදුනකිනි.අවස්ථානුකූලව තැනට සුදුසු ලෙස හැසිරීමට මා හට ගුරුහරුකම් දුන් ඈ කිසිවිටෙක වරදකදී  මා සුද්ධ නොකලාය.කුඩා කල මෙය මට තරහ උපදවන කටයුත්තක් වුව ද පසුව තේරුම් ගියේ ඈ එසේ නොවූවා නම් මා නොම්මර එකේ වලිකාරයෙක් වන බවය.අවසන් මොහොත වන විටත් ඈ කිසිවෙකුට නොනැමුණාය.ඇගේ අවසන් හුස්ම පොද හැලුනේ රෝහලට යන අතරමගදීය.මා වාහනය පදවමින් සිටි අතර වාහනයට නැග ගත්තේ ඈ තනිවම මුහුණද සෝදා ගෙන කිසිවෙකුගේ උදව්වක් ද නොගනිමිනි.අවසන්මොහොත වන විට ඈ සියලු දේවල් පිලිබද ආශාව අත්හැර තිබුණු බව පැවසූයේ පියාය. ඈ මා පිළිබදව වත් අවසන් දින කිහිපයේ වැඩිපුර කතා නොකල බවයි.සමහරවිට ඈ ලෝක යථාර්තය හොදින්ම තේරුම් ගෙන සිටින්නට ඇති.

මෑතකදී මා හිතවත් නැන්දා කෙනෙකු මා සමග කතා කරන විට පැවසූයේ “ඔයාගේ අම්මා නැතිවුනේ ඔයාට කිසිවක් ඉතුරු නොකර නෙවෙයි නේ “ යනුවෙනි. මා ගත් කටටම පැවසූයේ” අම්මා වෙන මොකවත් ඉතුරු කරල ගියේ නෑ ඉතුරු කරල ගියේ මාව ලෝකය වෙනුවෙන් “ යනුවෙනි.සැබැවින්ම පුරා වසර 20 කට ආසන්න කාලයක් ඇගේ විශිෂ්ඨතම නිමැවුම කොට ලොවින් සමුගත්තාය.සැබැවින්ම ඈ විශිෂ්ඨ ගැහැණියකි.

උඹට පිස්සුද?

මෙහෙම ඇහැව්වේ මගේ මිත්‍රෙයක් අද මේ බ්ලොග් අඩවියේ ලිපිනය මා ඔහුට යවන කොටයි. වෙලාවකට මට ඇත්තටම හිතෙනව ඔහොම , එක්කෝ මට පිස්සූ නැත්තම් අනිත් අයට පිස්සු කියල.මං මෑතකදී දැනගත්ත එහෙම කියපු/හිතපු පලවෙනි පුද්ගලය මම නොවන වග! එහෙම කියපු තවත් එක්කෙනෙක් තමයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්.එතුමත් එහෙම හිතපු එකේ මම එහෙම හිතපුවම මක් වෙනවද කියල මං හිතෙන් ඇහුවා.
මං හිතන විදිහට  ලෝකේ දිහා අමුතු කෝණයකින් බලන ඕනෑම අයෙක්ට එහෙම හිතෙන එක සාධාරණයි කියල.එහෙම අය රාමුවෙන් පිටතට ගිහින් බැලුවොත් තමයි ලෝකෙට අලුත් නිර්මාණ අදහස් බිහිවෙන්නේ කියලයි මගේ හිත කියන්නේ.
ප.ලි-ඔන්න නමෝ විත්තියෙන් කියල ලිව්වා ලිපියක්.ඕන දෙයක් ලියල යන්න පුලුවන් පහල තියෙන කොමෙන්ටු තීරයේ හැබැයි කුණු හරුප නම් ලියන්න එපා.පොඩිලමයි බලනවනේ ;)

Wednesday, October 13, 2010

යථාර්තයට විවර වන අංකිත කවුලුව

සාමාන්‍යෙයන් මා ලියන්නේ තාක්ෂණික ලිපි සහිත BLOG අඩවි වූවද මේ ආකාරයේ සටහන් ලිවීමට සිතුනේ මා දිනෙන් දින ලබන අත්දැකීම් බෙදා හදා ගැනීමේ පරමාර්ථය ඇතුවයි.ඉතින් මෙය හැමදාම නම් යාවත්කාලීන වේ යයි මට කියන්න බැහැ . නමුත්  හැකි සෑම විටම POSt එකක් දැමීමට බලාපොරොත්තු වෙනවා
Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.