Friday, December 24, 2010

මටත් හදවතක් ඇත!!!(පළමු කොටස)

වත් පොත

fbවත් පොත මට හමුවූයේ මීට වසර 4ක ට පමණ පෙරාතුවය.ඒ දින වල මෙය මා වැඩි වශයෙන් භාවිතා නොකලෙමි(උදක්ම එහි තිබූ සංකීර්ණ ගතිය මෙයට හේතුවිය).කෙමෙන් කෙමෙන් මෙය මා වැඩි වශයෙන් භාවිතා කිරීමට පටන් ගතිමි.මෙහි භාවිතය වැඩි වූයේ මා සරසවියට ඇතුළත් වීමෙන් පසුවය.එකල එය මට සාමාන්‍ය වෙබ් අඩවියක් වූවත් මීට වසරකට පමණ පෙර මෙහි ඇති ප්‍රතිලාභ තේරුම් ගැනීමට හැකිවිය.එය මා එහි නිතර ගැවසීමේ උත්ප්‍රෙරකය විය.ලොකු ලොකු ඈයින් හදුනාගැනීමේ වඩාත්ම පහසු ක්‍රමය වත්පොත බව මා අදටද විශ්වාස කරමි.එහෙත් මා මෙය තරුණියන් හඹා යෑමේ මෙවලමක් ලෙස භාවිතා නොකලේ අන් කවර හේතුවක් නිසාවත් නොව ප්‍රේමය වැනි හැගීම් එකල මට විකාරයක් ලෙස මගේ මනස සහසුද්දෙන්ම ඔප්පු කර තිබීමය.දන්නා මිතුරු මිතුරියන් මගේ ගිණුමේ මිතුරන් ලෙස සිටියද එය එතනට පමණක් සිමා විය.සරසවියේදී පසු ගිය මාස කිහිපය තුල  මෙයට දිනපතා ඇතුලු වීමට තරම් මා එයට ඇබ්බැහි වීමි.සරසවියේදී මා මෙහි සංවාද කවුලුව විවෘත කිරීම සදහා මගේ දුරබනුවට මෙවලමක් ස්ථාපනය කර ගතිමි.එයින් මා නිතරම පාහේ වත්පොතේ සංවාද සේවාව සමග සම්බන්ද වුනෙමි.
දිනක් මගේ ඥාතී සොහොයුරියක්(ඈ එනවිට මා හට අතිශයින්ම සමීපව සිටි තරුණියය).
“මම ඔයාගේ යාළුවෙක් එක්ක චැට් කරනවා“
“කවුද?“ මා දුරබනුවෙන් යතුරු ලියනය කලෙමි.
ඈ මට අධි ඈදුමක් එව්වාය.
“මම ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ නම එවන්න“
“********* **************“
ඈ මට අසා හුරු නමක් එව්වාය.මෙය සාමාන්‍ය කථාබහක් විය.දින දෙකකට පසු මට එම නම මතක් විය.නිකන් ඉන්න බැරි කමට මා ඈව වත් පොතේ සෙව්වෙමි.සෙව්වා පමණක් නොව ඇගෙන් “මිතු දම ඉල්ලා “ සිටියෙමි.එදින සවස මා වත් පොතට දුරබනුවෙන් සම්බන්ද වන විට ඈ මගේ මිතුදම “පිළිගෙන“ තිබුණි.සාමාන්‍ය ස්වරූපයටම මා සංවාදය ඇරඹූයෙමි.ඈද ඉක්මනින් මට ප්‍රතිචාර දැක්වීය.මට ඈ පාසල් කාලයේ දී මුණ ගැසී තිබුණි.(කුමන හෝ හේතුවක් නිසා හෝ මට ඇගේ වත ද මුල් නමද මතක තිබිණි.)මා විටින් විට ඇසූ ප්‍රශ්න වලින් මේ මා සිතන පුද්ගලයාම බව මට වැටහී ගියේය.
එතැන් පටන් මෙම සංවාදය දිනපතා ම සිදුවිය.(මිතුරන් පවසන අන්දමට මගේ දුරබනුවේ මකුලු දැල් කැඩී ගියේද ඉන් පසුවය….).දිනක් ඈ මට ඇගේ ජන්ම පත්‍රය පරික්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියාය.ඒ වන විට මා ජ්‍යොතිශය හදාරන බව ඈ දැන සිටියාය.ඒ වන විටත් මා ඇගේ ඇමතුම් අංකය පවා නොදැන සිටියෙමි.
“මම දැන් කෑම ගන්න ගමන් ඔයාට පුළුවන් නම් මට ඒක ටෙක්ස්ට් කරන්න “ යැයි කියා මා මගේ ඇමතුම් අංකය ඈට ලබා දුනෙමි.එසැනින්ම ඈ මට කෙටිපණිවිඩයක්ද එව්වාය.නිවසට යන තෙක් මට හදහන් සෑදීමේ අවකාශ අඩුය .සති අන්තයේ නිවසට ගියමුත් මට ඇගේ හදහන පරීක්ෂා කිරීමට සැබැවින්ම අමතකව ගියේය.එනමුත් ඒ අතර තුරද අප දෙදෙනා අංකිත සංවාද ඕනෑ තරම් පැවැත්වීය.ඈට නිවාඩු තිබීම එය වඩ වඩාත් පහසු කලේය.එකල ඒවා සාමාන්‍ය සංවාදයය.ඉන්පසු පසු කලෙක සංවාදයට නොපැමිනොත් මට මහ පාලු ගතියක් සිතේ දැනෙන්ට විය.(ඈ ද වරක් එසේ කීවා මට මතකය).෴
මතු සම්බන්ධයි(“වත්පොත ගිණුම හැක් කිරීම සහ පළමු දුර ඇමතුම“ ලබන ලිපියෙන්)

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.