Thursday, December 9, 2010

මගේ ජීවිතයේ හමුවූ විශිෂ්ඨතම ගැහැණිය

අද දින මා හට ජීවිතයේ සුවිශේෂතම දිනයකි.ඒ අන් කවර දෙයක් නිසා වත් නොව මීට වසර හතරකට පෙර අද වන් දිනෙක මා ආදරණීය මෑණියන් මෙලොවින් සමුගැනීමයි.ඒ වන විට ඈ 59 වැනි විය ඉක්මවූවා පමණි.හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඈ මිය ගිය දින මගේ මතකයෙන් කිසිදා අතුගා නොහැකි සංසිද්ධියක් බව මා වටහා ගත්තේ විටින් විට ඈ සිටියා නම් අද කොපමණ සතුටු වන්නේ ද යන්න මෙනෙහි කරන විටයි.

ඈ මිය යන විට මා උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියෙමි.මා හට ඇයට දිය හැකි එකම වස්තුවත් ත්‍යාගයත් මා ලාංකික සරසවියකට ඇතුලත් වීම බව ඈ කිසිදිනෙක මා හට නොපැසුවද ඈ විටින් විට ඒ බැව් ඇගවූවාය.මා එය හදුනානොගත් අධම පුත්‍රෙයක් නොවූවත් පරිගණක විද්‍යාවට ඒ දවස් වල පටන් තිබූ අධික ඇල්ම ඇයගේ බලාපොරොත්තුව ඉටුකිරීම වසරකින් පමා කලේය.කුඩා කල පටන් ඈ කිසි විටෙක මා ඉදිරියේ මගේ දස්කම් අන් අයට නොකිව්වාය.මා නොසිටි තැනක ඈ අනිත් අයත් සමග මා හට ජයග්‍රහණයක් නොවූ දෙයත් මහත් වූ සතුටින් අන් අය සමග කතා කරන හැටි විටෙක මා පුදුමයට පත් කලේය.මෑතක් වන තුරුම මා හට ඇගේ මෙම පිලිවෙත තේරුම් නොගැනීමට හැකි වූවත් ඈ කල දේ නිසා මා තව දුරටත් අභිප්‍රේරණය වූ බැව් මා හට පසක් විය.ඈ කිසි විටෙක මා මුරුංගා අත්තේ තබා අන් අය සමග මා පිළිබද පුරසාරම් නොදෙඩුවාය.මා මධ්‍යම පාන්තික තරුණයෙක්මි.නෑ නොකියා ජීවත් වීමට අවැසි සෑම දෙයක්ම පාහේ මාගේ මව්පියන් මා හට සපයා දී තිබුණි.සල්ලිකාර පවුල්වලට සාපේක්ෂව එය ඉතා කුඩා දෙයක් වුවද නිරපේක්ෂව එය මට ඉහටත් වඩා උඩින්ය.අපේ නිවසේ පොලොවට බොහෝ නිවස් වල මෙන් පිගන් ගඩොල් අල්ලා නොමැත.මීට වසර කිහිපයකට පෙර ඒ සදහා නිරායාසයෙන්ම  නිවස ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ තිබ්බත් මෑතකදී මා පියා මා සමග පැවසූයේ ගෙදර බිම පිගන් ගඩොල් ඇල්ලීම ට ඉඩ නොදුන්නේ මගේ මව බවයි.එයට හේතුව ලෙස ඈ දක්වා තිබුණේ හැමදේම දරුවන්ට අතට පයට ලබා දුන්නාම ඔවුන්ට මේ ලෝකය වෙනුවෙන් දෙයක් කිරීමට ඉඩක් නොවන බවයි.මේ විකාර කතාව තේරුම් යාමට මා හට ඈ වියෝ වී වසරක් දෙකක් යන විට අත්දැකීමෙන්ම ඔප්පු වීය.

පියාට වඩා මගේ පාසල් කටයුතු දෙස බැලුවේ මගේ මවය.මගේ පාසල් යන මුල් කාලයේ ඈ මා අතට මුදලක් දෙයි.එය හදිසියේවත් පාසල් වෑන් රථය ආවේ නැත්තම් නැවත ගෙදර යාමට ඇවසි මුදලට වඩා කුඩා වශයෙන් වැඩි වූ මුදලකි.ඈ මට දිගු කලිසම් අදින දවස් වල දුන් මුදල රු20 ක් යැයි මා හට මතකය.පසු කාලයේ ඈ මෙම මුදල් තහංචිය මා වෙත නොදැමූ අතර අවශ්‍ය ඕනෑම මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ අනුදැනුමින් තොරව වුවද රැගෙන යාමට පවා අවසර දී තිබුණේ මා දෙමව්පියන්ගේ විශ්වාසය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් ඔවුන්ගෙන් උපයාගෙන ඇති බව ඔප්පු කරමිනි.මගේ පාසල වෙත ඈ හිටපු ගමන් කඩාපාත්වන පුරුද්දක් ඇගේ තිබුණාය.මා හට උගන්වන සියලු ගුරුවරුන්ගේ සියලු විස්තර ඈ හොදින් දැන සිටි ඇය විටෙක මාව වත් හමු නොවී මගේ පිළිබද විස්තර ගුරුවරුන්ගෙන් අසා දැන ගනී.ඈ එක් දිනක මෙලෙස පැමිණ ගොස් නිවසේදී “මම අද ඉස්කෝලෙට ගියා මම ඔක්කොම අහගත්තා “ යැයි පැවසූයේ මා මවිත කරමිනි.ඈ එදා මා හට “පුතේ මං උඹට මල් තියල වදිනවා “ යැයි ඇගේ නෙතගට කදුලු බිදුවක් ද ගෙන කීවේ ඇයි දැයි යන්න මා හට අදටත් කුතුහලය දනවන ප්‍රශ්නයකි.මගේ මුලු ජීවිත කාලයටම ඈ මෙලෙස දෙවරක් මා වෙත පැවසු වාය.”මොන අම්මද තමන්ගේ පුතාට මල් තියල වදින්නේ?” යන පැනය තාමත් මා සිතේ දෝංකාර දෙයි.

පුද්ගල විනය ගැන ඈ වැඩි වශයෙන් තැකුවාය.උදයේ වෙලාවට නැගිටීමට මා හට නිතැතින්ම හුරු වූයේ අන් කවර නිසාවත් නොව එසේ නොවුණහොත් මගේ නින්ද කැඩීයන්නේ ඇද වෙතට විසිවෙන වතුර බදුනකිනි.අවස්ථානුකූලව තැනට සුදුසු ලෙස හැසිරීමට මා හට ගුරුහරුකම් දුන් ඈ කිසිවිටෙක වරදකදී  මා සුද්ධ නොකලාය.කුඩා කල මෙය මට තරහ උපදවන කටයුත්තක් වුව ද පසුව තේරුම් ගියේ ඈ එසේ නොවූවා නම් මා නොම්මර එකේ වලිකාරයෙක් වන බවය.අවසන් මොහොත වන විටත් ඈ කිසිවෙකුට නොනැමුණාය.ඇගේ අවසන් හුස්ම පොද හැලුනේ රෝහලට යන අතරමගදීය.මා වාහනය පදවමින් සිටි අතර වාහනයට නැග ගත්තේ ඈ තනිවම මුහුණද සෝදා ගෙන කිසිවෙකුගේ උදව්වක් ද නොගනිමිනි.අවසන්මොහොත වන විට ඈ සියලු දේවල් පිලිබද ආශාව අත්හැර තිබුණු බව පැවසූයේ පියාය. ඈ මා පිළිබදව වත් අවසන් දින කිහිපයේ වැඩිපුර කතා නොකල බවයි.සමහරවිට ඈ ලෝක යථාර්තය හොදින්ම තේරුම් ගෙන සිටින්නට ඇති.

මෑතකදී මා හිතවත් නැන්දා කෙනෙකු මා සමග කතා කරන විට පැවසූයේ “ඔයාගේ අම්මා නැතිවුනේ ඔයාට කිසිවක් ඉතුරු නොකර නෙවෙයි නේ “ යනුවෙනි. මා ගත් කටටම පැවසූයේ” අම්මා වෙන මොකවත් ඉතුරු කරල ගියේ නෑ ඉතුරු කරල ගියේ මාව ලෝකය වෙනුවෙන් “ යනුවෙනි.සැබැවින්ම පුරා වසර 20 කට ආසන්න කාලයක් ඇගේ විශිෂ්ඨතම නිමැවුම කොට ලොවින් සමුගත්තාය.සැබැවින්ම ඈ විශිෂ්ඨ ගැහැණියකි.

7 comments:

prasansani said...

ඇත්තටම අපේ ජිවිතෙ අපිට ඉන්න විශිෂ්ඨතම ගැහැනිය අපේ අම්මා බව නම් සහතික ඇත්ත යාලුවා.අම්මගෙන් අපිට ලැබෙන ආදරය කරුනාව වචනයකින් හරි අපිට දෙන එ හයියට නම් කවමදාකවත් අපිට වන්දි ගෙවන්න බැරි වෙයි.එත් අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන බලපොරොත්තු ඉශ්ට කරනව කියන්නෙත් එක්තරා විදිහකට වන්දි ගෙවිමක් තමයි නේද? ඉතින් යලුවා මන් හිතන්නෙ ඔයා දැනටමත් ඔයාගෙ අම්මගෙ බලපොරොත්තුව ඉශ්ට කරල ඉවරයි.ඉතින් එ ගැන හිතලා සතුටු වෙන්න.ඔයාගෙ අම්මා එදා වගේම හැමදාටමත් ඔයාගෙ අනාගතයට ආශිර්වාද කරයි.

kanishka dilhan said...

ඒ විශිෂ්ට උ ගැහැණිය අද ඔබ අතර නැති උවත් ය කොහා හෝ සිට ඔබ දෙස බල සිටිනු ඇත.ඔබව ආරක්ෂා කරනු ඇත.ඔබ දෙස බල සතුටු වනවා ඇත.
ඒ විශිහ්ට උ කාන්තාවට ,ඔබග මෑණියන්ට ඔබට කල හැකි දෙයක් ඇත..ඒ ඇය ඔබන් බලාපොරොතු උ දේ ඉටු කිරීමයි.එය ඔබට ඈ වෙනුවන් කල හැකි ලොකුම ගෞරවයි.
ඔබට ඇයගෙ ආශීර්වාදය සැමදා ලැබෙනු ඇත.

10 සහෝදරයා said...

උළු බිඳිලා යට ලීයෙන් කඳුළැලි බේරුණා
මැද මිදුලේ පාන් පැලේ පාන නිවී ගියා
පාළු ගඳට කිරි සුවඳක් මවා දෙන්න කියා
අඬන්නෙපා ඇත් රජුනේ ඒ කිරි ඉල්ලා

kasuni said...

අම්මා මෙ තමා ලොකෙ තියන ලස්සනම වචනෙ,ඔයා වාසනවන්තයි....අම්මගෙ බලාපොරොත්තු ඉටුකරන්න බැ හැමොටම ඒත් ඔයා කලා...මොකද අම්මල අපිව දාල යන්නෙ නැ කවදාවත්ම,ඔයා දිහා බලන් ඉදල සතුටු වෙනවා...

Manoj Bandara said...

මෙලොව සදා සුන්දරව ඈති එකම වස්තුව අම්මාය....

ශාම් said...

http://dl.dropbox.com/u/16420146/Mihi%20Madale%20Aduru%20Kuse.mp3

LJ said...

Never lament upon past for the many shapes of future yet to arise and surely there will be no more sorrow to those whom already felt greater loss! Be courageous my friend, as you were being
and nothing will last forever,not even the greatest horrors!
Keep up the good work which i really admire!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.