Saturday, July 13, 2013

මචං සංජීව ... උඹට හොඳ වැඩේ...



සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

‍රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ.

සංජීව,
මල් පිපී තිබෙනු නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. සරසවිවල බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් කැලණියේද ඉස්සර වගේ නැත. තෙල් බැම්මේ බෝ පැළයේ අලුත් දලු මතුව එයි. බුදු පිළිමයට මලක් පූජා කරන්නට කමලිනීට තියා කේ.පී.ට නොව කාටවත් තහනමක් නැත. කොළඹට ගොඩ දෙයියාගේ පිහිටය. ජ'පුරේ අලුත හැදූ සෝරත පිළිරුව හරි ලස්සනය. එහි ඉස්සර වගේ නොවේ. මල් පාරේ 'රක්නාලංකා' කට්ටියට පවා යන්නට එන්නට හැකිය. පේරේ හන්තාන පැත්ත බලාගෙන ඉන්නා විට රාමනාදන් එකෙන් කොල්ලාත් සංඝමිත්තාවෙන් කෙල්ලත් විත් ලවර්ස් ලේන් එකට රිංගනුද පෙනේ. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. සබරේද වෙනසක් නැත. තනිකඩ ගස් පේළියත් ආදර කන්දත් එහෙමම තිබේ. රුහුණ ගැන නං මට වඩා උඹ දනී. වෙන එකක් තියා මඩකළපුවේ සරසවියේ සුනාමි හෝල් එකටද ලස්සනට ඉර පායයි. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.
උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. පුස්තකාලවල පොත් මදි එකෙකින් අපට වැඩක් නැත. ඔය තියන තරම ඇතිය. ඉස්සර ළමයි හයසීයක් ඉන්නා කාලයේ තිබුණ පොත් ගාණම ළමයි හයහත්දාහකට මදි කියා කියන්නේ උඹලාය. සරසවිවල වැසිකිළි පහසුකම්වලින් වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, සරසවි සිසුන්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. ලංකාවේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. සංජීවලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් කැලණියේ එහෙම ඒවා ඇත්තේම නැත. පෞද්ගලික සරසවි අරිනා එක හොඳය. සල්ලිකාරයන් ඉගෙන ගන්නා එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව සරසවිවලට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික සංජීව උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම දේශපාලකයකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

රට කරන එක ලේසි වැඩක් නොවේ. කේ.පී.ලා, කරුණාලා, පිල්ලෙයාන්ලා ඒ මිනිසුන්ගේ හිත හදනා හින්දා හොඳය. අනික් පොඩි උන් රගර් ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ වැඩිහිටියන්ව බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. වැඩිහිටියන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ක්‍රිකට් ගහන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් රගර් ගහන්න බැරි වෙච්ච එකය. උඹ ක්‍රිකට් ගැහුවා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. චූටි බේබි රගර් ගහනකොට උඹ අත්පුඩි ගසා නැති බව මම හොඳින්ම දනිමි. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. සංජීව හිරේට දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. ලංකාවට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. 'සංජීව'යාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය. සංජීව අහසින් වැටුණු එකෙක් නිසා ආඩම්බරකාර තාත්තා තමන්ගේ බේබිලා මනිනා කෝණයෙන් නොමනිනා බව උෟ නොදනී.

ැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට ලංකාවේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. කරුණාත්, පිල්ලෙයානුත්, කමලිනීත් පමණක් නොව කේ.පී.ව පවා නරක් කළේ උඹ නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. බේබිලාටත් සතුටුය. හැමෝටම සතුටුය.෴

උපුටාගැනීම - ජීවන පහන් තිළිණ


Monday, December 10, 2012

ආපු විදිහටම ආයෙත් පලයං






එකෙකුට මදිවූ...
තවකෙකුට අහරක් වූ...
නුඹට මදිවූ...
මට ලැදිවූ..

 කාලය 

අාපු විදිහටම අායෙත් පලයං...෴

Wednesday, November 7, 2012

චීෆ් චෙෆ්!!!(Chief Chef)






සෑහෙන කාලයකට පසු නැවතත් සටහන් තබන්නට සිතුනෙමි. කිසිදු යාවත්කාලීන කිරීමක් නැතුවත් එකා දෙන්නා වත් පොත් පාඨක පිටුවට ගොඩ වැදී යනු දැකීම සිත් සනහන්නක් විය.

රැකියාවත් ව්‍යාපාරත් සමාජ සේවයත් අතර මා දැන් ජීවිතය ගෙවන්නෙමි. එය එසේ වූවද මේ සටහන් තබන්නේ කාර්‍යාලයේ මගේ මිතුරෙකු අප සමග කී කතාවකි.

එදිනද අප සුපුරුදු ලෙස දවල් ආහාරයට ගොස් සිටින අතර මගේ මිතුරෙක් ,


මචං ඒ දවස් වල මගේ යාලුවෙක් හිටියා...
4-5 වසරේදී ඉතින් ඔය ටීචර්ලා අහනවනේ පුතේ ඔයා ලොකු වුනාම මොකෙක් වෙන්නද කැමති කියල,

ඉතින් ඉතින්...

මගේ අර යාලුවා කියපි Chief Chef කියල.

ඒක සිරා බං මේ ඔක්කොටම වඩා. තවකෙක් පිලිවදන් දුන්නේය.

හිටහං බං තාම කතාව ඉවර නෑ.. මිතුරා නැවත කතාව කියන්නට පටන් ගත්තේය.

මිනිහ O/L වලින් ඉස්කෝලේ ගමන නැවත්තුවා. ඊට පස්සේ මිනිහ Hotel School ගියා.
එතනින් ඉගෙනගෙන රට ගිහිල්ලා හොද ගානකුත් හොයාගෙන ආවා...

ඇවිල්ලා දැන් ****** හෝටලේ වැඩ කරන්නේ(ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක් මිතුරා කියයි).මේ ළගදී මිනිහට සම්මානයකුත් හම්බවුණා කියල ආරංචියි෴

ප.ලි- මෙය සත්‍ය කතාවත් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ නොවූවද මෙවන් දැක්මක් ඇති මිනිසුන් තව දුරටත් මෙහි පහල වේවා යැයි මා පතන්නෙමි.

Tuesday, August 28, 2012

අයියා…… ???? අංකල්…… ????

 

bro

 

නිවුටන් කියන්නේ අපේ කැන්ටින් එකේ ටෙන්ඩර් එකෙන් හැමදාම ආයිමත් කැන්ටින් එක බාර ගන්න මහත්මයා තමයි.

ඒකට අපි නිවුටන් ටෙන්ඩර් කියමු.

එසේම ටවුන් එකෙන් හෝ සයිවර් කඩේකින් ගන්නා ආහාර වල ගල් හෝ වෙනත් යමක් (පොල්කටු කෑල්ලක් වගේ) දෙයක් තීබු විට අපි
“නිවුටන් ද දන්නෑ කුක්”
කියා කියමු,

බත් අමු නම් “නිවටන් හාල් “යයි කියමු.

ඒවා වැඩක් නැත....

සීන් එක මේකය..

කැම්පස් ගිය මුල් කාලේ අපි නිවුටන් ට අංකල් කිව්වා, ඊට පස්සේ මාමා කිව්වා.

මොකක් හරි කේස් එහෙකට කැම්පස් වහලා ආයි පටන් ගන්නකොට නිවුටන් අයියා කිව්වා.

දැන් අපි තුන්වන වසරේ.

කැම්පස් එකේ සෑහෙන්න කාලයක් හිටියා.

දැනුත් වහලා නිසා ගෙදර,
ආයි කැම්පස් ගිහාම නිවුටන් ට කියන්න වෙන්නේ නිවුටා කියලා තමයි,
මොකද අපි වයසට ගියාට…..

නිවුටන් අයියා වයසට යන් නෑනේ,

ඉක්මන්ට කැම්පස් ඇරපියව්!!!,

නැත්නම් නිවුටා අපිට අංකල් කියයි..

 

ප.ලි : – සියළු නම් ගම් මනඃකල්පිතය….

ප්‍රබන්ධය උපුටා ගැනීමට අවසර දුන් “ඇණුන” මල්ලීට තුති…

Friday, April 20, 2012

ඈ…

images

 

ආයෙත් ගෑනු පරාණයක්..
වෙන්න බෑ
නුඹ ඒවට තිත තිබ්බ නෙව..

 

ඔව් ..
එත් මට මේ කෙල්ල…
හැම වෙලාවෙම..

ඔව්!
හැමවෙලාවෙම..

බැහැ..
කීයයි කිව්වත් බෑ..
ඕකට ඉඩ දෙන්න.

ඒත් ඇයි..
මට මේ මනුස්සයවම


මතක් වෙන්නේ.෴

Monday, March 26, 2012

බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ…

 

සරසවිය විටෙක මට හුදී ජන සමාජයේ නියැදියක් ලෙස දැනුණු වාර ගණන අනන්තය. කෙසේ හෝ එය ඉතා නිවැරදි සාම්පලයක් බව විටෙක මට හැඟී යයි.
presentation
සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත් තව යමක් ඔබට ඉගෙන ගත හැකි ලංකාවේ එකම තැන රාජ්‍ය විශ්ව විද්‍යාලය.

පෞද්ගලික සරසවි හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති කැපී පෙනනම වෙනස එයය !!!

සාමාන්‍යෙයන් සරසවියට ඇතුල් වන මුල් කාලයේම එක් එක් සරසවියට ආවේනික වදන් මාලාවක් නවක සිසු සිසුවියන්ට සැපයේ…(දැන් නම් එසේ සිදුවනවා දැයි සැක සහිතය.. )

පහතින් දැක්වෙන්නේ එයින් සමහරකි.

කුප්පිය – අන් අයට විෂය කරුණු කියා දීම
කොක්ක- පෙම්වතිය( නිල වශයෙන් එසේ වූවාට කොක්කේ ද වර්ග ඇත. නෝට් කොක්ක ,බත් කොක්ක ආදී වශයෙන්)

යකා- කැත කෙල්ල(මෙහිද වර්ග ඇත. අම්බ යකා තවත් යක් වර්ගයකි)

ගජේ ගහනවා- අනෙක් අයගේ බඩු බාහිරාදිය හවුලේ භාවිතා කිරීම( එය එසේ වූවාට යට ඇඳුම(ජොකා) හා තමන්ගේ කොක්ක පමණක් මෙයට අදාල වන්නේ නැත !!! )

 

වදන් මාලාව මෙතනින් නවත්වන්නේ එය පමණක් වෙනම සටහන් කල හැකි දෙයක් නිසාවෙනි.

සරසවියේදී විෂයානුබද්ධ ඉදිරිපත්කිරීම්(Presentations) කිරීම සුලභවම සිදුවන්නකි. බොහෝ උදවිය මේ සදහා සුදානම් වූව ද ,ඇදුම ට සූදානම් වන්නේ අන්තිමේටය. සමහරු ආචාර්යවරු වැඩිපුර ඇඳුම ගැන නොසිතුවාට සමහරුන් නම් එසේ නොවේ කොණ්ඩය පවා පරික්ෂා කරයි.

එවන් අවස්ථා වලදී කට්ටියගේම ඉහමොල රත්වේ. කෙසේ හෝ නේවාසිකාගාර වල රවුමක් ගසා ඇදුම් ආයිත්තම් වලින් සැරසෙන අය අන්තමේ පවසන්නේ …..

මචං ,

“බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ “           කියාය…

(ඡායාරූපය - gcsehistory.wikispaces.com)

Thursday, January 26, 2012

අම්මා කියූ බොරු….

හදවතට තට්ටු කරන තවත් ප්‍රබන්ධයක්…

mother

 

මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ"

අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු  කෑල්ලක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු 2ක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුංචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න ගොඩාක් අසා නැහැ"

අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන් ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න.. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ"

අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල එකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මම තිබහ නැහැ"

අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"

අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා"

අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් නෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වගේ උසස් විදිහට ඉන්න දන්නෙ නැහැ පුතා"

අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාව ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා"

අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා.

ඔව්.. මගේ අම්මා දේවදුතියක්!!!!!!!!!!!!!

 

ප.ලි – මේ වත්පොතට මගේ මිතුරෙක් මුසු කොට තිබූ සටහනකි. එය පරිවර්තනයක් ලෙස සටහන්ව තිබුණා.

ප.ප.ලි – ප්‍රබන්ධයක් වූවාට මෙහි සමහරක් මට ද අදාළ වන්නේය…

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.